ආර්ථික දුෂ්කරතා හමුවේ මිත්‍රරටවලින් ලැබෙන සහය දිරිගන්වල සුළුයි - මුදල් අමාත්‍යාංශය

අප්‍රේ 30, 2022

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුෂ්කර තත්වයකට මුහුණ දී තිබියදී අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් හා මිත්‍රරටවලින් ලැබෙන සහය බෙහෙවින් දිරිගන්වන සුළු බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ, අන්තර්ජාතික ආයතන හා එක්ව මෙරට ආර්ථිකය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් සිටින බවයි.

    මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා හා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගියදා අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවරදී පැවැත්වූ සාකච්ජා සාර්ථක බව මුදල් අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙයි.

    අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු නියෝජිතයන් සමග පැවති සාකච්ජාවලදී ණය කළමනාකරණය හදිසි මූල්‍ය පහසුකම් ක්‍රමවේදය සදහා අයඳුම් කිරීම හා කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම යන කරුණු කෙරෙහි අවධානය යොමු විය. වැඩිදුර මෙහෙයුම් සදහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන මස මුල භාගයේ මෙරටට පැමිණීමට නියමිතයි.

    ලෝක බැංකු නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ජාවලදී මූලික අවධානයක් යොමු වූයේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ඖෂධ ලබා ගැනීමේ හදිසි ආධාර පිළිබඳවයි.

    මේ සදහා ඩොලර් මිලියන 600ක සහන පැකේජයක් ලෝක බැංකුව වෙතින් ශ්‍රී ලංකාවට හිමිවෙයි. ආසියා සංවර්ධන බැංකු නියෝජිතයන් සමග ශ්‍රී ලංකා දූත පිරිස පැවැත්වූ සාකච්ජාවල දී වැඩි අවධානයක් යොමු වූයේ මෙරට ආර්ථික ක්‍රියාවලිය ප්‍රවර්ධනය කොට එහි කාර්යක්ෂමතාව නැංවීම පිළිබඳවයි.

    ඉන්දීය මුදල් අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිතයන් හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර ද සාකච්ජා පැවැත්විණ. ජනතාවගෙත් සහය ඇතිව වත්මන් දුෂ්කරතා ජයගැනීමට හැකිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

    Latest News