මහ බැංකු බැඳුම්කර නඩුවකට එරෙහිව මූලික විරෝධතා

අප්‍රේ 29, 2022

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව මහ බැංකු බැඳුම්කර සම්බන්ධ නඩුවකට මූලික විරෝධතා මතු කරයි.

    ඒ, 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් මිලියන 688 ක මුදලක් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් මූලික විරෝධතා මතු කරන බව විත්ති පාර්ශ්වය විසින් අද කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට දැනුම් දුන්නා.

    මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තමන් විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

    ඒ අනුව නඩුවට අදාළ මූලික විරෝධතා මැයි මස 26 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම, එහි අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නම් කර තිබෙනවා.

    2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් වංක සාවද්‍ය පරිහරණය කිරීමක් සිදු කිරීම තුළින් පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා.

    Latest News