බැදුම්කර නඩුව ජුනි 18ට කල් යයි

මැයි 19, 2021

    2016 වසරේ මාර්තු මස 31 දා ‍ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 කට අධික භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ජුනි මස 18 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

    මෙම නඩුව අද අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබිණ.

    එහෙත් මේ දිනවල පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව නඩු විභාග කල් දැමීමට තීරණය කර ඇති හෙයින් මෙම නඩුවේ විභාගය ද ලබන ජුනි මස 18 වැනිදා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

    2016 වසරේ මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසිය ක දී රුපියල් බිලියන 15 කට අධික භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර තිබේ.

    Latest News