ලෝක මැලේරියා දිනය අද

අප්‍රේ 25, 2022

    ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක්. ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව 2015 වසරේ ලෝක ජනගහනයෙන් මිලියන 214කට මැලේරියාව වැළදී ඇති අතර ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 429,000ක්. මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වන්නේ අප්‍රිකානු කලාපයෙන්. එසේම, දකුණු හා නැඟෙනහිර ආසියානු කලාපයේ රටවල් 10ක බිලියන 1.4ක ජනගහනයක් මැලේරියාව වැළදීමේ අවදානමක් සහිතව ජීවත් වෙයි.

    මැලේරියාව යනු වාහකයෙක් මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර එය ඇති කරනු ලබන්නේ ප්‍රොටෝසෝවාවකු (ඒක සෛලික ජීවියෙක්) වූ පරපොෂිතයෙකුගෙනි. එනම් ප්ලැස්මෝඩියම් ගණයට අයත් ඒක සෛලික පරපෝෂිතයෙක්.

    මිනිසුන් හට ආසාදන ඇති කළ හැක්කේ මෙම ප්ලැස්මෝඩියම් වර්ගයට අයත් පරපෝෂිතයන් 4 දෙනෙකුගෙන් පමණි. වඩාත් දරුණු මැලේරියා රෝග තත්වයන් ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ෆල්සිපාරුම් හා ප්ලැස්මෝඩියම් වයිවැක්ස් නම් පරපෝෂිතයන්ගෙනි.

    නමුත් අනෙකුත් වර්ග දෙක වන ප්ලැස්මෝඩියම් ඕවාලේ සහ ප්ලැස්මෝඩියම් මලාරියේ යන පරපෝෂිතයින්ට ද මිනිසුන් හට ආසාදන ඇති කිරීමේ හැකියාව ඇත.

    මෙම මිනිසුන් සදහා රෝග ඇති කරන ප්ලැස්මෝඩියම් විශේෂවලට මැලේරියා පරපෝෂිතයින් ලෙස සාමාන්‍ය වහරයේදී හඳුන්වනු ලබයි.

    මැලේරියා පරපෝෂිතයින් පරිවහණය කරනු ලබන්නේ ගැහැණු ඇනෝපිලස් මදුරුවකු මගින්. මෙම පරපෝෂිතයින් මිනිසාගේ රුධිරයෙහි වූ රක්තානුවල ගුණනය වීමෙන් රෝග ලක්ෂණ ඇති කරනු ලබයි. ඒවා නම් රක්ත හීනතාවයෙහි රෝග ලක්ෂණ, (හිසෙහි ඇති වන සැහැල්ලු බව, හුස්ම ගැනීමේ අපහසුතාව, හෘද ස්පන්ධනය ඉහළයෑම) උණ , ඇග සීතල වීම, ඔක්කාරය සහ රෝගය වඩාත් දරුණු අවස්ථාවන්හිදී කෝමා තත්වය සහ මරණය පවා සිදුව තිබේ.

    මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවේ යළි මැලේරියාව හිස එසවීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අද (25) දිනයේත් ක්‍රියාත්මක බව ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ ය.

    ඔහු පැවසුවේ, 2013 වසරේ සිට මෙම වසරේ ඊයේ දිනය දක්වා මැලේරියා රෝගීන් 447ක් මෙරටින් වාර්තා වී ඇති බවයි. ඔවුන් සියලුම දෙනා මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව ඔහු සඳහන් කළේය.

    මැලේරියා රෝගීන්ට සහ මැලේරියාව පවතින රටවල් සදහා පිටත්වන පුද්ගලයින් සඳහා සැපයෙන ඹෟෂධ 2024 වසර දක්වා මෙරට සතුව පවතින බවයි,ඔහු වැඩිදුරටත් පවසන්නේ.

    මැලේරියා පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට වසරක් යන තෙක් උණ රෝග ලක්ෂණ ඇති වුවහොත්, නොමිලේ රැධිරය පරීක්ෂා කර ගැනීමට යොමුවන ලෙස ද ඔහු පවසයි.

    Last modified on සදුදා, 25 අප්‍රේල් 2022 11:22

    Latest News