මෛත්‍රිපාල සිරිසේනට නිවසක් ලබාදීම වළකමින් තහනම් නියෝගයක්

මාර් 29, 2022

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මස අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කෙරිණ.

    එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කටයුතු නොකරන ලෙස දන්වමින් වග උත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. එම තහනම් නියෝග අද දින සිට සති හතරකින් පසුව ක්‍රියාත්මක වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කරණලද්දේ.  

    මෙම අතුරු නියෝග පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවද අධිකරණය සඳහන් කළේය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ විභාගයෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළේය.

    පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සිය පෙත්සම තුළින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියදී භාවිතා කල කොළඹ - 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබා දීමට 2019 ඔක්තෝබර් මස 15 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවයි.  

    එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බවත්, තමන්ට හිමි වරප්‍රසාද ලබා ගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැනි බවත්, පෙත්සමින් සඳහන්කර තිබුණි.

    ඒ තුළින් වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් සිදු කර ඇති බවද පෙත්සමෙන් චෝදනා කර ඇත.

    එම කාල සීමාවේ රුපියල් මිලියන 180ක් වැය කර අදාල නිවස අලුත් වැඩියා කර ඇති අතර, ඒ සඳහා වැය කරන ලද්දේ මහජන මුදල් බවත් පෙත්සමින් සඳහන් කර ඇත. ඒ අනුව පාරදෘෂ්‍ය භාවයකින් තොරව ගනු ලැබූ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.  

    මෙම පෙත්සමට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ විභාගය අද (29) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවස නොවන බව සඳහන් කළේය.

    එම නිවස විශ්‍රාමික ජනාධිපතිවරයා වු සිය සේවාදායකයා වෙත පිරිනමන ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම නිවස සදහා අයවැය තුළින් පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන පවා අනුමත කර ඇතැයි පැවසුවා.  

    පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු නියෝගය නිකුත් කළහොත් සිය සේවාදායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් මතුවිය හැකි බවද ඔහු සඳහන් කරන ලදි. වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා වැරදි සහ නොමග යවන සුළු කරුණු පදනම් කරගෙන පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවත් චෝදනා කළේය.

    ඉන් අනතුරුව පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සදහා පාර්ලිමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි පෙත්සම් කාරක පාර්ශ්වය මතු කරන කරුණු නිවැරදි නොවන බවත් සඳහන් කළේය.

    මෙම නිවස වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දෙනලදි.

    ඒ අනුව, විශ්‍රාමික ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අදාළ නිවස පිරිනැමීමට ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කර ලෙසත්, ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.

    මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරිපත් වූ කරුණු අනුව අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කළ ලෙස ඉල්ලා සිටින ලදි. දෙපාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම අතුරු නියෝග නිකුත් කළේය.

    ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කළ ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගය සඳහා යලි මැයි මස 18 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය. 

    Last modified on අඟහරුවාදා, 29 මාර්තු 2022 17:16

    Latest News