අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

මාර් 23, 2022

    වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අන්තර්ගත වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා.



    ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය වෙත මෙම නියෝගය සිදු කරනු ලැබුවා.

    මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    මෙම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මෙම නඩුකරය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතිද්දී ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව පෙන්වා දුන්නා.

    එබැවින් එම නව සංශෝධන ද ඇතුළත් කොට සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඒ අනුව සංශෝධිත පෙත්සම මැයි මස 04 වන දා ට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 11 වන දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළා.

    අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 18 වනදා කැඳවනු ලෙසත් නියෝග කෙරුණා

    වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම් කර තිබෙනවා.

    නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) (අ) සහ(ආ) ව්‍යවස්ථාවට පටහැනි බවයි.

    එම ව්‍යවස්ථාව මගින් පණවා තිබෙන සීමාවන් ඉක්මවා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ජනාධිපතිවරයා විසින් වැඩිපුර පත්කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු එම පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි කියා සිටින්නේ.

    ඒ අනුව ඉකුත් ජුනි මස 07 වන දායින් පසුව මෙරට අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙවැනි අමාත්‍ය මණ්ඩලයකට සිය නිල කටයුතු ඉටු කිරීමට නිත්‍යානුකුල හැකියාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ තුළින් ඔවුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් චෝදනා කළා.

    එබැවින් මෙම නඩුකරය ජාතික වැදගත්කමක් සහිත නඩුවක් සේ සලකා එය විශේෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙසද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා

    එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අත් හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    Latest News