සංචාරක බස්රථවලට ලංගම ඩිපෝ මගින් තෙල්

මාර් 23, 2022

    හදිසි අවශ්‍යතාවයක් සේ සළකා සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සදහා ශ්‍රී ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන්න යැයි බස් රථ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංගම සභාපතිවරයාට දැනුම් දී තිබේ.

    සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ ඉල්ලීමකට අනුව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ඩි.එල්.කේ ද අල්විස් මහතා මෙම දැනුම් දීම කර තිබෙන්නේ.

    මෙම බස්රථ සැබෑ ලෙසම විදේශිකයන් රැගෙන ගමනේ යෙදෙන බස්රථ පමණයක් විය යුතු බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන් වෙයි.

    මීතොටමුල්ල, ජා-ඇල, අනුරාධපුරය, මහනුවර, දඹුල්ල, නුවරඑළිය හා හම්බන්තොට යන බස් රථ ඩිපෝ මගින් මෙලෙස ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතියි.

    අදාළ බස්රථවලට ඉන්ධන ලබාදීමේ දි ඒ මොහොතේදීම අදාළ මුදල් ලබාගන්නා ලෙස ද ලිපියේ වැඩිදුරටත් සඳහන්.

    සංචාරක බස්රථ හිමියන්ගේ සංගමය විසින් ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට මැදිහත්වන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර අමාත්‍යවරයා එම ඉල්ලීම රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා වෙත යොමු කර තිබේ.

    Last modified on බදාදා, 23 මාර්තු 2022 10:42

    Latest News