අග්‍රාමාත්‍යතුමාගේ මහා ශිව රාත්‍රී පණිවුඩය

මාර් 04, 2019

    වාර්ගික, ආගමික, සංස්කෘතික, විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හඳුනාගැනීමට මහා ශිවරාත්‍රී දිනය ද අප සැමට ආලෝකයේ දිනයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදී තිබෙන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    සම්පූර්ණ පණිවුඩය මෙසේය

    ප්‍රඥාවේ අලෝකයෙන් ආධ්‍යාත්මික විමුක්තිය උදා වේවා යන පැතුමින්, ලොව පුරා හින්දු ආගමික ජනතාව එකමුතුව මහත් හරසරින් සහ මහත් බැතියෙන් මහා ශිව රාත්‍රී දිනය සමරති. ශිව දේව වන්දනාව හින්දු බැතිමතුන්ගේ වන්දනා පිළිවෙත් අතර ප්‍රමුඛස්ථානය හිමිවන්නකි. ශිව දෙවියන්ගෙන් මූර්තිමත් වනුයේ සොබාදහම ලෙස සැලකෙන අතර, ජීවී සියල්ලේ උපත ද ශිව දෙවියන් බව හින්දු බැතිමතුන්ගේ ඇදහීමයි. විශ්වයට ජීවය උදාකරන, මානව ජීවිතය සමෘද්ධිමත් කරන ශිව දෙවියන්ට වඩාත් ප්‍රිය වූ මෙම රාත්‍රියේදී, සාමූහිකව සහ එකමුතුව උපවාස ශීලය රකිමින්, රැය පුරා අවදිව පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් වත්පිලිවෙත් ඉටුකිරීම තුළින් ආධ්‍යාත්මික විමුක්තිය උදා වන බව සැලකේ.

    විශ්වයේ උපත සහ ආරක්ෂාව නිරූපණය කරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්වීය නර්තනය සිදු වූ රාත්‍රිය ලෙස ද මහා ශිව රාත්‍රිය සැලකෙන අතර, එය සැමරීම සඳහා ගායන, වාදන, නර්තන, ඇතුළු විවිධ සංස්කෘතික අංග යොදා ගැනීමෙන් මහා ශිව රාත්‍රියට එක්වන්නේ විචිත්‍ර සුන්දරත්වයකි.

    වාර්ගික, ආගමික, සංස්කෘතික, විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හඳුනාගැනීමට මහා ශිවරාත්‍රී දිනය ද අප සැමට ආලෝකයේ දිනයක් වනු ඇත. මහා ශිව රාත්‍රී දිනය බැතිමතුන්ව සමරන සහෝදර හින්දු ජනතාවට ප්‍රාර්ථනා කරන පරිදිම, ආධ්‍යාත්මික විමුක්තිය තුළින් සාමය සහ ශාන්තිය උදාවේවායි ශුභාශිංසන එක්කරමු.

    Latest News