ජාතික නාමල් උයන සුරක්ෂිත වුණේ රාහුල හිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්ය මතයි; අගමැති

මාර් 19, 2022

    සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන ආරක්ෂා වී තිබෙන්නේ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්ය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.

    ඒ, ජාතික නාමල් උයන 31 වැනි සංවත්සර සැමරුමට හා ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (18) පස්වරුවේ එක්වෙමිනි. ජාතික නාමල් උයන ආරක්ෂා කරමින් දිවි පරදුවට තබා කළ මහා පාරිසරික ජාතික මෙහෙවර වෙනුවෙන් පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ට අගමැතිතුමා මෙහිදී උපහාර පිරිනැමුවා.

    පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ මෙහි දී ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ ගෞරවනීය සාමාජිකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට මෙහිදී පිරිනැමුවා. එම පාරිසරික සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකත්වය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ යාවජීව සාමාජිකත්වය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ට පිළිගැන්වීම ද මෙහි දී සිදුවුණා. අනතුරුව ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ නව වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට අගමැතිතුමා එක්වුණා.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි, පූජ්‍ය වනවාසි රාහුල හිමි පැවිදි අනුශාසනා පැවැත්වූවා. ජාතික නාමල් උයන සංරක්ෂණ හා සංවර්ධන භාරයේ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ආරාධිත දේශනය පැවැත්වූවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ශුභාශිංසන පණිවුඩය ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඉදිරිපත් කළා.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමි ප්‍රධාන මහා සංඝරත්නය මෙම අවස්ථාවට විශේෂයෙන් වැඩම කොට වදාළහ. එසේ ම අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

    Latest News