රනිල්ගේ මෝසමක් සලකා බැලීමට දිනයක්

මාර් 08, 2022

    විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත් කර තිබෙන නියෝගයක් අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර ඇති මෝසම සලකා බැලීම සඳහා ලබන 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    මෙම මෝසම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී.එම්.සමරකෝන් සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අදාළ මෝසමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති ලේකම් ධුරයේ වෙනසක් සිදුවී ඇති හෙයින් එය සංශෝධනය කිරීම සඳහා අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නා.

    ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 14වනදා කැඳවන ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ.

    රනිල් වික්‍රමසිංහ මහතා සිය මෝසමෙන් කියා සිටින්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකළ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තමන් දැනටමත් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බවයි.

    එසේ තිබියදී අදාළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති බව පෙන්වා දුන් ඔහු එම කොමිසම හමුවේ තමන්ට ඉකුත් 28 වනදා පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදු කර තිබූ බවත් සඳහන් කළා.

    දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් තමා අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර තිබෙන අවස්ථාවක එම කරුණ සම්බන්ධ තවත් ජනාධිපති කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීම යුක්ති සහගත නොවන බවත් ඔහු සඳහන් කළා.

    එබැවින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත නිකුත් කර තිබෙන දැනුම්දීම අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 16:17

    Latest News