කෝටියක් වටිනා ඇන්තූරියම් පැළ 400ක් රේගු අත්අඩංගුවට

මාර් 08, 2022

    නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනආ රුපියල් කෝටියක් වටිනා ඇන්තූරියම් මල් පදුරු 400ක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඊයේ (07) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පවසයි.

    තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ සවස 04.00ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් - 405 දරන ගුවන් යානයෙන් මෙම මල් ව්‍යාපාරිකයන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණ.

    ඔවුන් විසින් රැගෙන ආ විශාලත ගමන් මලු 04ක මෙම ඇන්තූරියම් පදුරු අසුරා ගෙන තිබුණි.

    ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

    ඇන්තූරියම් පඳුරු තොගය සහ එම ව්‍යාපාරිකයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශාක නීරෝධායන ආයතනයේ නිලධාරීන් වෙත යොමුකර තිබේ.

    Latest News