අගමැති - වෛරි දේශපාලනයෙන් ඉවත්වෙමු

ඔක් 28, 2018

    මෙරටට පිළිලයක් වූ වෛරී දේශපාලනය පිටුදැක, සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතීන් සුරැකීමට කැපවන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්‍ෂවලට ගෞරවයෙන් යුතුව ආරාධනා කරන බවයි, අග්‍රාමාත්‍යතුමාගේ අත්සනින් යුතු නිවේදනයේ දැක්වෙන්නේ.


    පැවති ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වීම හේතුකොට ගෙන, සභාග ආණ්ඩුව අහෝසි වූ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කළේය. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ආණ්ඩුවක් පත්කිරීමේ වගකීම ජනාධිපතිතුමාට පැවරිණි. ජනාධිපතිතුමා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය තනතුර බාරගන්නා ලෙස මට ආරාධනා කර සිටියා. ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය හා ගරුත්වය රකින, රටේ නීතිය හා සාමය තහවුරු කරන අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍යතුමා පවසයි.
    පසුගිය වකවානුවේ දිගින් දිගටම කල් දමමින් තිබුණු පළාත් සභා ඡන්ද වහාම පැවැත්වීමටත්, හැකි ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා, රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් මුදාගන්නා නව වැඩපිළිවෙළකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබාදීමට ඉඩ සැලසීම හා මා සමඟ සිටින දේශපාලන පක්‍ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රායයි.
    ජනාධිපතිතුමා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිලිබඳ තොරතුරු හෙළිවෙමින් තිබේ. කුමන්ත්‍රණයට සම්බන්ධ වූ පාර්ශවයන්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හෙළිදරව් වෙමින් පවතී. රටේ ආර්ථිකය, වේගයෙන් කඩා වැටුණි. රුපියල භයානක ලෙස අවප්‍රමාණය වී තිබේ. ලෝක ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකවල, අපේ රට පහළටම වැටුණි. ජීවන බරින් අපේ ජනතාව තැලී පොඩිවී මිරිකෙමින් සිටී. එක්සත් ජාතික පක්‍ෂ නායකයන්ගේ මහ බැංකු කොල්ලය හේතුවෙන්, රටේ පොලී අනුපාතය දෙගුණයකට වඩා වැඩිවී, ව්‍යාපාරිකයන් හා ජනතාව පීඩනයට පත්ව සිටී. ඒ අතරතුර, එම අසාර්ථක ආණ්ඩුව වටිනා රාජ්‍ය සම්පත්, දේපළ හා ව්‍යාපාර විදේශීය රටවලට විකුණමින් සිටි බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
    මේ අවදානම් සහගත මොහොතේ දී ජනතාව අපගේ නායකත්වය හා රැකවරණය බලාපොරොත්තු වන බව, ම දැන සිටි නිසා, මම ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගෙන, අග්‍රාමාත්‍ය තනතුර භාරගතිමි.

    Latest News