අද සිට කාලගුණයේ වෙනසක්

මාර් 02, 2022

    නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි බලපෑම හේතුවෙන් අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. උතුරු පළාතේත්, මහනුවර, හම්බන්තතොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

    සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News