ලොහාන් රත්වත්තේට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සැප් 30, 2021

    අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනූරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී පිස්තෝලයක් රැදවියකුගේ හිසට තබා තර්ජනය කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවට චෝදනා කරමින් එම බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් 08 දෙනෙකු සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරය අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා, අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා .

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින බවයි.

    ඉකුත් 12 වන දා සවස 6.05 ට පමණ සිය ආරක්ෂකයින් සමඟම බන්ධනාගාරයට පැමිණි වගඋත්තරකාර ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා තමන්ව දණ ගස්වා අමානුෂික ලෙස බැණ වැදුණු බව පෙත්සම්කරුවන් පවසනවා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා සිටින සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා විසින් තමාට ලබාදී ඇති බව අමාත්‍ය රත්වත්තේ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කළේ යැයි පවසන පෙත්සම්කරුවන් අනතුරුව සිය පිස්තෝලය ගෙන පූපාලසිංහම් සූරියපාලන් නමැති පෙත්සම්කරුගේ හිසට තබා තර්ජනය කළ බව පවසනවා.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස තමන් දැඩි ලෙස භීතියට පත්වූ බව ඔවුන් පෙන්වා දෙනවා.

    මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද අධිකරණයෙන් අයැද සිටිනවා.

    එමෙන්ම තමන්ව ඇප මත මුදාහැර අවසන් වශයෙන් සියලු චෝදනාවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News