පාස්කු ප්‍රහාරය නඩුවේ ලේඛන 6ක් ගැන ප්‍රකාශයක්

ජන 19, 2022

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගත්තා.

    නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

    මෙහිදී පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් ලකුණු කර තිබූ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් විත්තිකාර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමු කර තිබූ බුද්ධි වාර්තා අඩංගු ලේඛන 38 කට අදාල මුල් ලේඛන ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන බුද්ධි වාර්තා පවත්වාගෙන යාමේ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න මහතා සාක්ෂියට කැඳවා තිබුණා.

    තමා විසින් ලකුණු කළ ලේඛන අතුරින් ලේඛන හයක මුල් පිටපත් නොමැති බව මෙහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියා.

    එමෙන්ම එක් ලේඛනයක මුල් පිටපත සාක්ෂිකරු විසින් රැගෙනවිත් නොමැති බවයි ඔහු අධිකරණයට දන්වා සිටියේ.

    ඉන් අනතුරුව සාක්ෂිකරු මාර්ගයෙන් අදාල මුල් ලේඛන ලකුණු කිරිම ආරම්භ කෙරුණු අතර එහිදී ඇතැම් ලේඛනවල අසම්පූර්ණතාවයන් සහ එකිනෙකට වෙනස් ලේඛන අධිකරණය විසින් නිරීක්ෂණය කළා.

    එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් යම් විමර්ශනයක් සිදු කළ විට ඊට අදාළ සම්පූර්ණ වාර්තා අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට පොලිසිය කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළා.

    මෙම නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කළ ඇතැම් ලේඛනවල මුල් ලේඛන වෙනස් තත්ත්වයක පවතින බව විනිසුරුවරයා පෙන්වා දුන්නා .

    මෙවැනි ක්‍රියා හරහා අපරාධ විමර්ශන ක්‍රියාදාමය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය බිඳ වැටීමකට ලක් වන බව ද විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ප්‍රකාශකර සිටියා.

    මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් මෙම නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කර තිබෙන ලේඛන දෙස පිරික්සීමේදී මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබූ බව පෙන්වා දුන්නා.

    පැමිණිල්ල විසින් ඇතැම් ලේඛන ඉදිරිපත් කර තිබෙන ආකාරය වැරදි සහගත බවත් ඔහු පැවසුවා.

    ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් මෙම නඩුවට අදාළව ලකුණු කළ ලේඛන 31 කට අදාළ මුල් ලේඛන සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ ලකුණු කළා.

    ඉන් අනතුරුව විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොෂාන් දෙහිවල මහතා මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් විත්තිකාර පොලිස්පති වරයා වෙත යොමු කර තිබූ ලිපි 31 අතරින් ලිපි බහුතරයක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විත්තිකරු විසින් සටහන් යොදා ඇතැයි පිළිගත්තා.

    එම බුද්ධි වාර්තා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා, වයඹ හා සබරගමුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වරුන්ට අදාල ලේඛන ව සටහන් යොදා විත්තිකරු විසින් ඒවා යොමු කර තිබූ බව සාක්ෂිකරු පිළිගත්තා.

    පැමිණිල්ල විසින් ලකුණු කළ බුද්ධි වාර්තා අඩංගු ලේඛන අතුරින් වාර්තා 21 ක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සටහන් යොදා තිබූ බවත් අධිකරණය හමුවේ අනාවරණය වුණා.

    අනතුරුව වැඩිදුර විභාගය හෙට දින තෙක් කල් තැබුණා.

    Latest News