තෝමස් මර්සලින්: ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයෙන් නිදහස්

පෙබ 27, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහහා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඉන්දියානු ජාතික තෝමස් මර්සලින් අද එම චෝදනාවෙන් නිදහස්කරනු ලැබීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රභූඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියානු ජාතික තෝමස් මර්සලින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණ.

    මේ අනූව, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙබරවාරි 13 වැනිදා දැනුම් දී සිටියේ ප්‍රභූඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. 

    ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව ඔහුට එරෙහිව ඇති චෝදනාවනට සාක්ෂි ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොහැකි වී තිබේ. ඒ අනූව අත්අඩංගුවේ සිටි ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් එම නඩුවෙන් මුදා හරින ලෙස කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග නිකුත් කළේය.

    ඉන් පසු ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් වීසා නොමැරතිව මෙරට රැදී සිටීම එරෙහිව අද අලුත් නඩුකරයක් සම්බන්ධයෙන් සැකකරු මාර්තු 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරිණ.

    පෙබරවාරි 13 නඩුව කැඳවු අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය .......

    මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ..."මේ සිද්ධිය සම්බන්දයෙන් ඇති සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දින ඉදිරිපත් කළ යුතුයි. පොලිසිය කියන විදියට සැකකරුවන් රඳවා ගන්න අධිකරණයට බැහැ. සැකකරුට එරෙහිව වෙන චෝදනා තිබේ නම්, වීසා නැත්නම් පියවර ගත හැකියි. ජනාධිපතිවරයාගේ නම මේ සිද්ධියට ගෑවිලා තිබෙන නිසා අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව බිය නිසා අනෙක් පුද්ගලයාගේ නිදහස සීමා කරන්න මට බැහේ. මමයි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න නියෝගය ලබා දෙන්නේ. ඉන් පුද්ගලයෙකුගේ නිදහස සීමා වෙනවා. සාක්ෂි නැතිව පුද්ගලයකු රක්ෂිතභාර ගත කරන්න බැහැ. මේ සම්බන්ධයෙන් නීතිපති අදහස් විමසන්න. නීතිපතිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් බැරිනම් මම තීරණයක් ගන්නම්" යැයි මහේස්ත්‍රාත්වවරයා නියෝග කරමින් කියා සිටියේය.

    ඉන්දියානු ජාතික තෝමස් මර්සලින් ප්‍රභූඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාස 06 ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත භාරයේ සිටින ත්‍රස්ත විමර්ශන අංශය භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 06 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ජයන්ත ඩයස් නානායක්කාර මහතා (27) නියෝග කළේය.

    හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව කිසිදු සාක්ෂියක් නොමැතිව මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමෙන් පුද්ගලික නිදහස් සීමා වී ඇති බව ඔහුගේ නීතිඥවරයා කියා සිටියේය. මින් සැකකරුට බරපතල අගතියක් මෙන්ම යුක්තිය අපගමනය වී ඇති බවත් දීර්ඝ කරුණු දැක්වීමකින් ඔහු පෙන්වාදුනී. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ආරක්ෂා වී ඇති සැකකරුගේ පුද්ගලික නිදහස ආරක්ෂා කිරිමට අධිකරණය මැදිහත් විය යුතු බව ඔහු කියා සිටියේය.

    නීතිපතියවරයාගේ උපදෙස් විමසා ඉදිරි දිනක අධිකරණයට දැනුම් දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

     

     

     

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 18:09

    Latest News