බොරැල්ලේ දේවස්ථානයක දී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

ජන 13, 2022

    ඉකුත් දා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථානයක පරිස්‍රයේ තිබී ජීව අත්බෝම්භයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.



    කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියට පමුණුවනු ලැබුවා.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු මේ වන වට අත්අඩංගුවට ගෙන සිටින බවත් ඉන් තුන් දෙනෙකු මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන බවත් සඳහන් කළා.

    අද දින අධිකරණයට ඉදිරිපත් කළ ඉන්දික පෙරේරා නැමැති සැකකරු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී තිබෙන බවත් ප්‍රධාන සැකකරුගේ ලියකියවිලි කටයුතු මෙම සැකකරු විසින් සිදු කර තිබෙන බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇතැයිද එම නිලධාරීන් සඳහන් කළා.

    එහෙත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මෙම අපරාධයට සම්බන්ධ නොමැති බවයි.

    පොලිසිය විසින් අදාළ බෝම්බය සොයාගනු ලැබුවේ තම සේවාදායකයා ලබාදුන් සහයෝගය මත බව පෙන්වාදුන් විත්තියේ නීතිඥවරයා ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.

    කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ මූලික අවධියේ පවතින හෙයින් මෙම අවස්ථාවේදී ඇප මත මුදා හැරීම මගින් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවයි.

    ඒ අනුව සැකකරු ලබන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා

    Latest News