පෙර දැනුම් දීමක් නැතිව කළ වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයට (වීඩියෝ)

ජන 13, 2022
  • දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හදිසි වැඩවර්ජනය අමානුෂීය ක්‍රියාවක් බවත් මානුෂීය ලෙස තම වෘත්තිය ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් දිවයිනපුරා දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත්විය. ප්‍රදේශ කිහිපයකින් කළහකාරී සිද්ධීන් ද වාර්තා විය.කිසිඳු පෙර දැනුම් දීමකින් තොරවයි ඊයේ මධ්‍යම රාත්‍රී සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනය ආරම්භ කළේ.

    වර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදුවූයේ නැහැ. දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන්ගේ නොමනා ක්‍රියාවන් සහ කිසිඳු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති වීමෙන් දුම්රිය මගීන්ට මෙලෙස දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව තිබේ.

    ස්ථානාධිපතිවරුන්ගේ හදිසි වැඩවර්ජනය හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයට පැමිණි මගීන් කෝපයට පත්වීමෙන් කලහකාරී අයුරින් හැසිරෙනු දක්නට ලැබිණ. දුම්රිය ස්ථානයේ ඇතැම් දේපළවලට ද අලාභහානි සිදුකර තිබේ.

    බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 10.30ට පමණ හදිසියේම බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයේ නතර කිරීම නිසා දුම්රිය ප්‍රවේශපත් රැගෙන දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි ජනතාවට බස් රථවලින් කොළඹට ගමන් කිරීමට සිදුවිය.

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ලැබුණු උපදෙස් මත දුම්රිය බණ්ඩාරවෙල නතර කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජනවාරි 2022 19:36

    Latest News