“ශ්‍රමයට අභිමන් ජනතා බුහුමන්” අද

දෙසැ 15, 2021

    ශ්‍රම වාසනා අරමුදල විසින් වසර 13 කට පසුව සංවිධානය කරනු ලබන “ශ්‍රමයට අභිමන් ජනතා බුහුමන්” සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් මස 15 බදාදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.

    වසර 35කට වඩා වැඩි සේවා කාලයක් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ නියුක්තව සිටි වෘත්තීය සමිති නායකයින් ඇගයීම මෙම උළෙලේදී සිදු කෙරෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම සම්මාන උත්සවයේදී වෘත්තීය සමිති නායකයින් දස දෙනෙකු හා රජයේ සේවයේ නියුතුව සිට දැනට විශ්‍රාම සුවයේ පසුවන රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ඇගයීමට ලක්කෙරෙන බවයි.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ 1994 -1998 දක්වා වූ කාලයේ දී එවක කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරන ලද ආයතනයක් වන ශ්‍රම වාසනා අරමුදල විසින් මෙම සම්මාන උළෙල මුල් වරට පවත්වා ඇත්තේ මීට අවුරුදු 13 කට පෙර එනම් 2008 වර්ෂයේ දී බවයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අඩසිය වසක මෙහෙවරක යෙදුණු වෘත්තීය සමිති නායකයන්ට එදා මුල්වරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සම්මාන හා උපහාර පිරිනැමීමට කටයුතු කිරීම ලාංකීය කම්කරු ව්‍යාපාරය තුළ සිදුකළ විශිෂ්ඨ සහ ඓතිහාසික කාර්යයක් බවයි. එදා සිදුකළ එම කාර්යය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පවා සාකච්ඡාවට බඳුන්වී ප්‍රසාදය දිනාගත් අවස්ථාවක් විය.

    එදා පැවැති සම්මාන උළෙලේදී ද වෘත්තීය සමිති නායකයන් 10 දෙනෙකු සඳහා සම්මාන පිරිනැමුණු නමුත් ප්‍රබල වෘත්තීය සමිති නායකයකු වූ බාලා තම්පෝ මහතා වෙත පිරිනැමුණු සම්මානය ඒ මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම ද සුවිසේෂී සිදුවීමක් විය.

    මෙවර ‘ශ්‍රමයට අභිමන් ජනතා බුහුමන්’ සම්මාන උළෙලේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සම්මාන ලබන වෘත්තීය සමිති නායකයන් වන්නේ

    1. ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර - ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
    2. මෙරෙඤ්ඤගේ දයාරත්න මුණිදාස ප්‍රනාන්දු - සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමය
    3. සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන් - Joined Plantation Trade Union
    4. හේව අමරතුංග පියදාස - සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමය
    5. රෙන්ගසාමි පලනිමුත්තු - Ceylon Workers Congress
    6. විජේවන්ත පද්මසිරි අමරසිංහ - ලංකා වතු සේවක සංගමය
    7. රෙංගය්යා මරුදමුත්ත ක්‍රිෂ්ණසාමි - කෘෂිකාර්මික හා වතු කම්කරු සංගමය
    8. අරුමුගම් මුතුලිංගම් - United Plantation Workers Union
    9. තුවාන් මන්සූර් රහීම් රසිඩීන් - සිලෝන් ෆෙඩරේෂන් ඔෆ් ලේබර්
    10. වරාහේන ලියනගේ දොන් ඇන්ටන් මාකස් - නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

    මෙම සම්මාන උළෙලේදී උපහාර ලබන වෘත්තීය සමිති නායකයන්ට සමරු ඵලකයක්,පදක්කමක් සහ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට නියමිතය.

    මීට අමතරව මෙම සම්මාන උළෙලේදී කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන මහින්ද මඩිහහේවා සහ හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්වරයකු වූ ජී.වීරකොන් යන මහත්වරුන් වෙත විශේෂ ඇගයීම් සම්මාන ප්‍රදානය කිරීම ද සිදුකෙරේ.

    ‍‍

    Latest News