ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අද

අප්‍රේ 10, 2019

    ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගැයීමේ අරමුණින් පැවැත්වෙන පළමු "ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ප.ව. 4.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලාංකේයීය ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ සදා නොමැකෙන මතක සටහනක් තැබෙන මේ සම්මාන උළෙල අභිමානවත්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇතැයි ද, ඒ සඳහා විෂයභාර ඇමැති රුවන් විජයවර්ධන මහතා විශාල මඟපෙන්වීමක් ලබා දී ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උළෙලේ මුඛ්‍ය පරමාර්ථය වන අතර මෙය වාර්ෂිකව පැවැත්වීමට ආණ්ඩුව තීරණය කැර ඇත. ජනමාධ්‍යවේදීන්ගේ විවිධ දක්ෂතා, කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා හඳුනාගනිමින් ඒවා ඇගැයීමට ලක්කිරීම, වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහිකිරීම සඳහා පසුබිම නිර්මාණය කරනු වස් නිසි මඟපෙන්වීම් ලබාදීම හා අභිප්‍රේරණය කිරීම, සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය හොඳින් දැනුම්වත් වූ සිවිල් සමාජයක් ගොඩනැගීම සඳහා සවිබල ගැන්වීම ජනමාධ්‍යවේදීන් විසින්  සමස්ත සමාජය වෙනුවෙන් හිතකර වූ ද නිදහස් වූ ද සංවර්ධනාත්මක දෘෂ්ටි කෝණයකින් යුතු වූ ද මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා පෙළඹවීම් කිරීම සහ සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය ආවරණය වන පරිදි කරනු ලබන කාර්ය සාධන ඇගයීම තුළින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ජනමාධ්‍යවේදීන්ට ලබාදීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණු වේ.

    සම්මාන සඳහා ඉදිරිපත් කළ අයඳුම්පත් ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතු වූ අතර හැකිතාක් දුරට ආයතන ප්‍රධානීන් මඟින් එවීමට කටයුතු කළ යුතු බව දන්වන ලදී. ස්වාධීනව තමාම සහතික කර වුවද අයැඳුම්පත් එවීමට හැකිවීම විශේෂ කරුණක් විය. ඒ අනුව සම්මාන සඳහා සලකා බලනු ලැබුවේ 2017.01.01 දින සිට 2017.12.31 දක්වා නිර්මාණ පමණි. ස්වතන්ත්‍ර නිර්මාණ වීම, විදේශීය රටවල නිර්මාණයන් නොවීම, ලාංකේය ප්‍රේක්ෂකයාට යෝග්‍ය ලෙස සකසන ලද නිර්මාණ වීම සම්මාන සඳහා සලකා බැලීමට සුදුසුකම් ලෙස සලකන ලදී.

    පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි සහ වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි නියැළී සිටි ගෞරවණීය බුහුමනට පාත්‍ර විය යුතු සිවු දෙනකුට දිවියේ එක් වරක් පමණක් පිදෙන ජූරියේ විශේෂ සම්මානයෙන් අද සම්භාවනාවට පාත්‍ර වෙති. ඒ අනභිභවණීය ඇගැයීම මෙවර පළමු ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී පුවත්පත් ක්ෂේත්‍රයෙන් ලබාගැනීමට නියමිතව ඇත්තේ කලාකීර්ති එඩ්වින් ආරියදාසයන් වේ.

    ගුවන්විදුලි ක්ෂේත්‍රයෙන් කරුණාරත්න අමරසිංහ ද, රූපවාහිනී අංශයෙන් ලූෂන් බුලත්සිංහල ද, පිදුම් ලබති. වෙබ් මාධ්‍ය අංශයෙන් ලක්ෂ්මන් ජයවර්ධන බුහුමන් ලබති.

    මීට අමතරව මේ ක්ෂේත්‍ර 4ක දක්ෂයෝ ඇගැයීමට සම්මාන 47ක් පිරිනමන බව ද ලේකම්වරයා කීය.

    ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලීමක් ලෙස සටහන් කළ හැකි මේ ඇගැයීම් උළෙල පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත සිදු කිරීම කියාපානුයේ රජය එයට දක්වන කැමැත්ත හා අගය කිරීමේ ඇති වටිනාකම මනාව හැඳිනගෙන ඇති බවයි.

    ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ඉදිරියට සෑම වසරක් පාසාම අඛණ්ඩව පැවැත්වීමට රජය තීරණය කොට ඇත. එහිදී ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා අගය කෙරෙන අතර යහපත් ජනමාධ්‍ය කලාවක් රටේ බිහි කිරීමට ඉන් පිටුබලයක් සවියක් ලබාදී අරමුණු කොට ඇත.

    අද පැවැත්වෙන පළමු අභිමානවත් ගාම්භීර උත්සව අවස්ථාවට මැති ඇමැතිවරු, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය කලා අංශ බුද්ධිමත්හු, ප්‍රවීණයන් ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.

    Last modified on බදාදා, 10 අප්‍රේල් 2019 07:42

    Latest News