කඩුගන්නාවෙන් පාර වසා තැබීම දීර්ඝ කෙරේ

නොවැ 12, 2021

    කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා තැබීම තවදුරටත් දීර්ඝ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    එම පියවර ගනු ලැබ ඇත්තේ පවතින නාය අවදානම හේතුවෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනූවයි.

    මේ අතර, ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ද 26 දක්වා ඉහළ ගොස් තිබේ.

    මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නිකුත් කෙරුණු නායයෑමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වීම ද මාර්ගය වසා තැබීම දීර්ඝ කිරීමට හේතුවිය. කඩුගන්නාව කන්දේ ඉහළ කොටසේ දුම්රිය මාර්ගය පිහිටි ප්‍රදේශයේ සිට පහළට ගලා එන ජල ධාරා පොළොව තුළට ඇතුල්වීම වළක්වා ගැනීම සඳහා පොලිතින් ඇතිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකයි. යුද හමුදාව ද ඊට සහය ලබාදෙයි.

    වර්ෂා අවස්ථාවල දී විශාල ජල ධාරාවක් කළුගල් අතරින් භූගත වීම නිසා පොළොව අස්ථාවර වීමේ අවදානමක් පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ප්‍රකාශ කළේය. එම තත්වය පළක්වා ගැනීමට පොලිතින් ආවරණ යෙදීම අරමුණයි.

    Last modified on සිකුරාදා, 12 නොවැම්බර් 2021 11:33

    Latest News