දින 41කට පසු රට යළි ඇරේ

ඔක් 01, 2021

    දින 41කට පසුව සීමාවන් සහිතව අද (1) අලුයම 4 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (30) නිකුත් කළේය.

    නිරෝධායන නීතිය ඉවත් කළ ද සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කළේය.

    අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා අන්තර් පළාත් සංචරණ සීමා අඛණ්ඩව පවත්වාගෙන යෑම. අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා දිනපතා රාත්‍රි 10 සිට පසුදා උදෑසන 4 දක්වා අවසර නැති අතර, පොදු ප්‍රවාහන සේවාවල මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණි.

    පොදු ප්‍රවාහන සේවාවන්හි වායුසමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර, වීදුරු විවෘත කර තැබිය යුතුය. සෑම විටම මුව ආවරණයක් පැලඳ සිටිය යුතුය. රැකියා ස්ථානවලට කැඳවන සේවකයන් ගණන සැමවිට සීමා කළ යුතු අතර, හැකි සෑමවිටම නිවෙසේ සිට සේවය කිරීමට දිරිමත් කළ යුතුය. ගෙන්වා ගත යුතු සේවකයන් ගණන ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය. නැවත දැනුම් දෙන තුරු කිසිදු මහජන රැස්වීමක් පැවැත්වීමට අවසර නැත.

    එම මාර්ගෝපදේශ 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් සඳහන් වේ. ඒ අනුව ඔක්තෝබර් 1 සිට 15 දා දක්වා ද ඔක්තෝබර් 16 සිට 31 දා දක්වා ද එම මාර්ගෝපදේශ දක්වා තිබේ. ඔක්තෝබර් 1 සිට 15 දක්වා උත්සව, සාද, එක්රැස්වීම්වලට අවසර නැත. අවන්හල් විවෘත කිරීමට අවසර නැත. සිනමා ශාලා වසා ඇත. ප්‍රදර්ශන හා සම්මේලන සඳහා අවසර නැත. කෘෂිකර්මාන්තයට අවසර දී ඇත. බාබර් සහ රූපලාවණ්‍යාගාර සඳහා වේලාවක් වෙන් කර ගෙන පැමිණිය හැකිය. සිසුන් 200ට අඩු පාසල් විවෘත කළ හැකිය. දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘතයි. පෙර පාසල්වලට පැමිණෙන ළමුන් ගණනින් 50% ධාරිතාවෙන් ක්‍රියාත්මක විය හැකිය. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ආරම්භ කළ හැකිය. ඇවිදින මංතීරු, වෙරළ තීර විවෘතයි.

    මංගල උත්සව, විවාහය ලියාපදිංචි කිරීම 10 දෙනකුගේ සහභාගීත්වයෙන් කළ හැකිය. අවමංගල්‍ය උත්සව සඳහා ඕනෑම වෙලාවක සිටිය හැක්කේ පුද්ගලයන් 10ක් පමණි. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැත. කර්මාන්ත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක විය හැකිය. විභාග ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාත්මක විය හැකිය. උපකාරක පන්ති පැවැත්වීමට අවසර නැත.

    Latest News