ආබාධ සහිත පුද්ගලයන්ට සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක්...

සැප් 17, 2021

    ආබාධ සහිත පුද්ගලයන් සඳහා සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

    මෙරට ආබාධිත පුද්ගලයන්ට කිසිදු අපහසුතාවයකින් තොරව ස්වකීය අවශ්‍යතා සපුරා ගැනීමත්, බාහිර සමාජ සමග සම්බන්ධීකරණය කිරීමත් මෙහි අරමුණයි.  ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඇරඹීමට නියමිත මෙය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපනය කරනු ලැබීමට නියමිතයි.

    ආබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවලට අනුරූප වන පරිදි කේන්ද්‍රස්ථානය සකස් විය යුතු ආකාරය පිලිබඳ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ආබාධ සහිත පුද්ගලයන්ගේ නියෝජිත කණ්ඩායමක් සමග අද අදහස් හුවමාරුවක නිරත වුණා. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය ඇතුළු ශ්‍රව්‍ය දෘෂ්‍ය හා වෙනත් ආබාධ සහිත පුද්ගලයන් කිහිපදෙනෙකු ඊට සහභාගී වුණා.

    ඔවුන්ට භාවිත කිරීමට හැකි පරිදි සියල්ල සංවිධාන කරන ලෙසයි, අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේ. ආබාධිත පුද්ගලයන් සඳහා පිවිසුම් මාර්ග සකස් කිරීම, සනීපාරක්ෂක පහසුකම්, දෘෂ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් පිවිසීමේ මංතීරු ඉදිකිරීම, වාහන නතර කිරීමේ පහසුකම් ආදිය පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. මෙවැනි සත් කාර්යයන්හි පෙරමුණ ගැනීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යවරයාට එම නියෝජිතයන් සිය කෘතඥතාවය පළ කළා. ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ජනතාව උදෙසා සෑම රාජ්‍ය ආයතනයකම මෙවැනි පහසුකම් සලසන ලෙස ද ඔවුන් රජයෙන් ඉල්ලීමක් කළා.

    Last modified on සිකුරාදා, 17 සැප්තැම්බර් 2021 20:09

    Latest News