දත්ත ගබඩාව මකාදැමීමේ සිද්ධිය, ඖෂධ ජාවාරමේ කොටසක් විය හැකි බවට ප්‍රකාශයක්

සැප් 13, 2021

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය ඖෂධ ජාවාරම්කරුවන්ගේ ක්‍රියාපිළිවෙතේ කොටසක් විය හැකි බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධියට අදාළ පරීක්ෂණය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන යාමේ වගකීම එපික් ලංකා නැමැති පෞද්ගලික සමාගම විසින් වසර පහක කාලයක් සඳහා භාර ගෙන තිබූ බවයි.

    එහෙත් අදාළ ආයතනය සිය වගකීම නිසි පරිදි ඉටු කිරීම පැහැර හැර ඇතැයි චෝදනා කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අදාළ ආයතනයේ නොසැලකිලිමත් භාවය නිසා මෙම දත්ත මැකී ගොස් ඇති බවද සඳහන් කළා.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව ආරක්ෂා කිරීම සඳහා මෙම ආයතනය නිසි වැඩපිළිවෙලක් ගෙන නොතිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම තොරතුරුවල Back up එකක් පවත්වාගෙන යාමට පවා එම ආයතනය කටයුතු කර නොමැති බවයි ප්‍රකාශ කළේ.

    ඇතැම් ඖෂධ සමාගම් එකම ඖෂධය විවිධ නම්වලින් ආනයනය කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඖෂධවල සංයුතිය පිළිබඳ දත්ත ගබඩා කොට තිබෙන්නේ දැනට මැකී ගොස් තිබෙන පරිගණක දත්ත ගබඩාවේ බව සඳහන් කළා.

    මෙම දත්ත ගබඩාව මේ වන විට මැකී යාම නිසා ඖෂධ සමාගම්වලට ඖෂධවල මිල ගනන් තමන්ට අවශ්‍ය පරිදි නියම කිරීමට හැකියාවක් මතුවී තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අනතුරු අගනා සිටියා.

    ඒ අනුව මෙම දත්ත ගබඩාව විත්තිකරුවන්ගේ අධීක්ෂණය යටතේ යාවත්කාලීන කරනු ලැබුවහොත් එහි ඇති වැදගත් තොරතුරු මැකී යාමේ අවදානමක් පවතින හෙයින් ඒ පිළිබඳව අධ්‍යනය කොට කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඉල්ලා සිටියා.

    මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ප්‍රකාශ කළේ අදාළ පරිගණක දත්ත ගබඩාව යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් වීමට හැකියාවක් නොමැති බවයි.

    ඒ අනුව අදාල දත්ත ගබඩාව යාවත්කාලීන කිරීම වළක්වාලමින් ඉකුත් දා නිකුත් කර තිබූ නියෝගය ඉවත් කරන බව සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම යාවත්කාලීන කිරීමේ කටයුතු සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කොට සිදු කළ යුතු බව දැනුම් දුන්නා.

    අනතුරුව පැමිණිල්ල දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට ද නියම කළ අධිකරණය එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

    Latest News