NMRA දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධියේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්

ඔක් 18, 2021

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික සමාගමේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 25 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී .රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥ ජයනී වෑගොඩපොල මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ලැප්ටොප් දෙකක්, ටැබ් යන්තරයක් , ජංගම දුරකථන තුනක් සහ දත්ත බහලුම් දෙකක් අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.

    මෙම උපකරණ සියල්ල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණාගාරය වෙත යොමුකර විමර්ශනයක් සිදුකොට වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරිය ඉල්ලීම් කළා.

    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළා.

    එමෙන්ම රිමාන්ඩ් බාරයට පත් කර සිටින මෙම සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා මේ මස 21 වනදා සිට 23 වනදා අතර කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉඩ දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළා.

    මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිටියා.

    අනතුරුව මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයේ නීතිඥ වරයාට නියම කළේ එම ඉල්ලීම ලිඛිතව ලබන 25වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

    අනතුරුව තමන්ගේ ස්ථාවරය අධිකරණයට ලිඛිතව ඉදිරිපත් කරන බව රජයේ නිතිඥ වරිය සඳහන් කළා.

    අනතුරුව නඩුව ලබන 25 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එතක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළා.

    Latest News