විග්නේෂ්වරන්ගේ අපහාස නඩුව ලබන 21 යළි කැඳවේ

පෙබ 15, 2019

    අධිකරණයට අපහාස කළේ යැයි උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

    අද(15) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කැඳවනු ලැබිණි. මෙම පැමිණිල්ල ලබන 21 වනදා යළි කැඳවන බවත් එදිනට එය විභාගයට ගන්නා දිනය නියම කරන බවත් විනිසුරුතුමිය විසින් සඳහන් කරනු ලැබීය.

    උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. උතුරු පළාත් ධීවර අමාත්‍ය ධුරයෙන් තමන්ව ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් මහතා විසින් ඊට පෙර පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. එම පැමිණිල්ල විභාග කළ අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන් මහතාට එම තනතුරේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස දන්වා අතුරු නියෝගයක් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා වෙත 2018 වසරේ අගෝස්තු මස නිකුත් කර තිබිණි. එහෙත් විග්නේෂ්වරන් මහතා එම අභියාචනාධිකරණ නියෝගයට අවනත නොවී එය කඩ කරමින් කටයුතු කළ බව පැමිණිලිකාර ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා චෝදනා කරයි. ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් වගඋත්තරකාර හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකු විසින් මූලික විරෝධතා මතු කර තිබිණි. නමුත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර තිබෙන අභියාචනාධිකරණය එම පැමිණිල්ල විභාග කිරීමට තීරණය කර තිබේ.

    Last modified on සිකුරාදා, 15 පෙබරවාරි 2019 13:13

    Latest News