UAE යන ශ්‍රමිකයින්ට PCR - රැපිඩ් ගුවන්තොටුපොලේ දී

අගෝ 14, 2021

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට අද (14) සිට රැපිඩ් හා පීසීආර් පරීක්ෂණ කටුනායක ගුවන්තොටුපොළේදී සිදුකර ගතහැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    ඒ අනූව ගුවන්ගතවීමට අවම වශයෙන් පැය 04 කට පෙර අදාළ ගුවන් මගීන් ගුවන්තොටුපොළ වෙත පැමිණිය යුතුයි.

    එමෙන්ම රැපිඩ් PCR පරීක්ෂණයට භාජනය වීමට අවශ්‍ය ගුවන් මගීන් සිය විදේශ ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ගුවන් ටිකට් පත අනිවාර්යයෙන් රැගෙන ආ යුතුවෙයි.

    පරීක්ෂණය සඳහා එක් පුද්ගලයෙකුගෙන් අය කරන මුදල රු.7,500ක් වන අතර සේවාව ලබා ගැනීමට ප්‍රථම එම මුදල ණයවර කාඩ්පත් මගින් හෝ බැංකු හුවමාරුවකින් හෝ මුදල් වශයෙන් හෝ ගුවන්තොටුපොළ සාම්පල එකතු කිරීමේ ස්ථානයේදී ගෙවීමට අවස්ථාව හිමිවෙයි.

    රැපිඩ් PCR පරීක්ෂණය සිදු කිරීමෙන් පසු ගුවන් මගීන් ඔවුන්ට වෙන් වූ පරිශ්‍රය තුළ රැඳී සිටිය යුතු අතර අදාළ පුද්ගලයාගේ පරීක්ෂණ වාර්තාව සකස් වූ පසු කෙටි පණිවුඩයක් මගින් ජංගම දුරකතනය වෙත ඒ් බව දැනුම් දෙයි. එසේම පරීක්ෂා කරන ස්ථානයේදී සහතික කරන ලද පිටපතක් ලබා ගත යුතු අතර ඊට අමතරව එම වාර්තාව WhatsApp මගින් ද ගුවන් මගියාගේ ජංගම දුරකතන අංකය වෙත යවනු ඇති.

    මේ අතර පරීක්ෂණයේදී කිසියම් මගියෙකුට 'කොවිඩ් – 19' වැළඳී ඇති බවට හඳුනාගත හොත් එවැනි මගීන් සාමාන්‍ය ජනතාවගෙන් හා පරීක්ෂණ ප්‍රදේශයෙන් හුදකලා කර ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊට අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනේ.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අංශ ගෙන ඇති තීරණවලට අනුව සියලු පුද්ගලයින් එරටට පැමිණීමට පෙර කොවිඩ් පරීක්ෂණ සිදුකරගත යුතුවෙයි.

    Latest News