බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනාට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අගෝ 09, 2021

    හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරියක වශයෙන් සේවය කළ ජූඩ් කුමාර් ඉශාලිනී නැමැති දැරිය පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒ මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා, ඇයගේ සොහොයුරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු යනාදීන් ඇප මත මුදා හැරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ, මෙම සැකකරුවන් ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

    අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මියගිය ඉශාලිනී දැරිය තවදුරටත් අපයෝජනයට ලක් වීම වැළැක්වීම සියලු පාර්ශ්වයන් වෙත වගකීමක් පැවරෙන බව අවධාරණය කළේය.

    මෙම දැරියගේ විමර්ශනවලට අදාළව අනාවරණය වන කරුණු අධිකරණයට වාර්තා කිරීමට මත්තෙන් ඒවා ජනමාධ්‍යවල පළ වීම තුළින් මියගිය දැරියට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ තුළින් විමර්ශන කටයුතුවලට ද බාධාවක් සිදු වන බවයි අවධාරණය කළේ.

    මෙම නඩුවේ සැකකරුවන්ගේ සමාජ හා දේශපාලන පසුබිම සළකා බැලීමේදී කලින්ම අනාවරණය වන මෙවැනි තොරතුරු හරහා ඔවුන්ට නඩුවේ සාක්ෂිවලට බලපෑම් කිරීමට අවකාශ සැළසෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ සිට ඇතැම් පොලිස් නිලධාරීන් ජනමාධ්‍ය වෙත මෙම තොරතුරු ලබාදීම සිදුකරන අතර කීර්තිය හා ප්‍රසිද්ධිය තකා සිදු කරන එම ක්‍රියාව පිළිබඳව දෙපාර්තමේන්තු මට්ටමින් සොයා බැලීමක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

    විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව ඕනෑ තරම් සාක්කි පවතින බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට මෙවැනි තීරණයක් ගත හැකි නම් අධිකරණ කුමට දැයි ප්‍රශ්න කර සිටියේය.

    මෙහිදී මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් අමතමින් මෙම විමර්ශනයට අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත් වූයේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

    එහිදී විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් සඳහන් කළේ තමන් එවැනි තොරතුරු ජනමාධ්‍ය වෙත ලබා නොදුන් බවයි.

    නඩුවක් විවෘත අධිකරණයේ විභාගයට ගන්නා අවස්ථාවල ඒවා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම ගැටළුවක් නොවන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය එහෙත් යම් විමර්ශනයට අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට මත්තෙන් ඒවා ජනමාධ්‍ය ඔස්සේ පළ කිරීම හරහා විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බව පෙන්වා දුන්නාය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කළේ, මෙම විමර්ශනයට අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත් වන්නේ කෙසේදැයි සොයා බලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

    එමෙන්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් නියෝග කර සිටියේය.

    අනතුරුව වැඩිදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඉකුත් 26 වැනිදා අධිකරණයෙන් ලබාගත් නියෝගය පරිදි මියගිය දැරියගේ මෘත දේහය යළි ගොඩ ගෙන ඉකුත් 31 වැනිදා පේරාදෙණිය රෝහලේ දී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට භාජනය කළ බව පැවසීය.

    දැරියගේ දේහය එම්.ආර්.අයි සහ සී. ටී. ස්කෑන් පරීක්ෂණවලට භාජනය කළ බවත් දැරියගේ පිළිස්සුම් තුවාල රජයේ රස පරීක්ෂකවරයා මාර්ගයෙන් පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති බවත් ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් ඔහු අධිකරණය හමුවේ දන්වා සිටියේය.

    එමෙන්ම දැරියගේ අස්ති සම්බන්ධයෙන්ද සියුම් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මියගිය දැරියගේ මුල් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ දෙවන පශ්චාත් මරණ වාර්තාව සංසන්දනය කර ඉදිරි විමර්ශන සිදුකිරීමට පියවර ගන්නා බවත් දන්වා සිටියේය.

    වැඩිදුර කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම දැරියගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද? අනතුරක් ද? නැතිනම් මිනීමැරීමක් ද? යන්න පිළිබඳව තවදුරටත් සැකයක් පවතින බව පෙන්වා දුන්නේය.

    තුවාල ලැබූ මෙම දැරිය රෝහල් ගත කිරීමෙන් පසුව බොරැල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න නමැති නිලධාරියා ඇය අසළට ගොස් සිදු වූයේ කුමක් දැයි දැරියගෙන් ප්‍රශ්න කළ බවත් එම අවස්ථාවේදී දැරිය දැඩි අපහසුවෙන් සිටි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

    ඊට අදාළ වීඩියෝ පටයක් ද එම නිලධාරියා විසින් ලබාගෙන ඇති අතර එම වීඩියෝ පටය පිරික්සීමේ දී අදාළ නිලධාරියා විසින් කුමක් සිදු වූයේ දැයි විමසූ විට දැරිය දැඩි අපහසුවෙන් "ගහන්න එපා" "පෝන් එක අයින් කරන්න" යනාදී පිළිතුරු ලබා දී තිබූ බව අනාවරණය වන්නේ යැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසීය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පොලිසියට ලබාදී තිබෙන ප්‍රකාශ එකිනෙකට පරස්පර බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තමන් මෙම අපරාධයෙන් බේරී යාම සඳහා ඔවුන් මෙලෙස ප්‍රකාශ සිදු කර ඇති බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළා.

    දැරිය පෙරවරු 6.45 පමණ අනතුරට ලක් වූ බව සැකකරුවන් ප්‍රකාශ කළත් ඇයව ක්ෂණිකව රෝහල්ගත කිරීමට පියවර නොගත් අතර නිවසේ සේවය කරන ඇමති ආරක්ෂක අංශයට අයත් පතිරණ නැමැති නිලධාරියෙකුට දුරකථනයෙන් කතා කොට ඔහු කැඳවා ඔහු මාර්ගයෙන් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතැයි ද සොලිසිටර් ජෙනරාල්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

    මෙම නිලධාරියා පැමිණ 1990 සේවයට කතා කොට දැරිය රෝහලට රැගෙන යනතුරු රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ ඇයගේ පියා ඇය රෝහල්ගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් තම නිවසේ වාහන දෙකක් සහ රියදුරන් දෙදෙනෙකු සිටිය දී මේ ආකාරයෙන් කටයුතු කළේ ඇයිදැයි බරපතල සැකයක් මතුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    දැරිය රෝහල් ගත කිරීම සදහා මෙම සැකකරුවන්ගේ නිවසේ තිබෙන ස්ථාවර දුරකථන සහ ඔවුන්ගේ ජංගම දුරකථන භාවිත කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් පරිස්සම් වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම අපරාධයට තමන් සම්බන්ධ නොමැති බව ඇගවීමට ඔවුන් මේ ආකාරයෙන් ක්‍රියා කර ඇතැයි ද සඳහන් කළේය.

    මෙම දැරිය රෝහලේදී මිය ගිය පසුව ඇයගේ සොහොයුරා සහ දෙමව්පියන් රිෂාද් බදියුදීන්ගේ නිවසට පැමිණි අවස්ථාවේ එහි සිටි පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි පුද්ගලයෙකු මෙම සිද්ධිය පොලිසියට රැගෙන යාම අනවශ්‍ය බවත් මෙය මෙතනින්ම අවසන් කර ගන්නා ලෙසත් ඔවුන්ට බලපෑම් කර තිබූ බව ඉකුත් නඩු දිනයේ පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබිණ.

    මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදුකළ බව කී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා එම පුද්ගලයා පොලිස් මූලස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෆාර් නමැත්තෙකු බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසීය.

    මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

    පොලිස් මූලස්ථානයට අනුයුක්ත වී සිටින නිලධාරියකු මෙම අනතුර සිදු වූ අවස්ථාවේ එම ස්ථානයට පැමිණියේ කෙසේ දැයි බරපතල සැකයක් මතුවන බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඔවුන් විසින් මෙම අපරාධය පොලිසිය වෙත වාර්ථා විම වැළැක්වීමට උත්සාහ කර ඇතැයි චෝදනා කළේය.

    අදාළ නිලධාරියා මෙම ස්ථානයට පැමිණ තිබෙන්නේ රිමාන්ඩ් භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ගේ පියාගේ දැනුම්දීමක් අනුව බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සුවිශේෂී ජනරාල්වරයා සඳහන් කළා.

    "මේක පොලීසි ගෙනියන්න අවශ්‍ය නෑ. මේක මෙතනින්ම ඉවර කරගමු" යනුවෙන් මියගිය දැරියගේ සහෝදරයාට ප්‍රකාශ කිරීම තුළින් මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අදාළ අපරාධය නීතියෙන් වසන් කිරීමට ක්‍රියා කර ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා චෝදනා කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ රිෂාද් බදියුදීන්ගේ බිරිඳ ගේ මෑණියන් වන අබ්දුල්ලා ජොහාරා නැමැත්තිය පොලිසියට සිදුකර ඇති ප්‍රකාශ වලින් මියගිය දැරිය ගිනිතියා ගත්තාද? ගිනි තිබ්බා ද? දන්නෑ යනුවෙන් සඳහන් කොට ඇති බවත් එය දන්නේ දෙයියෝ පමණක් බව ඇය විසින් ප්‍රකාශ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

    පිලිස්සීමට භාජනය වූ දැරිය තම කුටියේ සිට මුළුතැන් ගෙහි දොර විවෘත කර ගනිමින් කොරිඩෝව ඔස්සේ සාලයට දක්වා සැලකිය යුතු දුරක් දිවවිත් තිබුණද ඒ අසල තිබූ භාණ්ඩවලට ගින්නෙන් කිසිදු හානියක් සිදු නොවීම විමතිය දනවන කරුණක් යැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසීය.

    අපරාධ ස්ථානය පරීක්ෂා කිරීමේ දී ගිනි ගැනීමට ලක් බව තහවුරු කෙරෙන කිසිදු බාහිර සාක්ෂියක් අනාවරණය වී නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඒ අනුව අපරාධ ස්ථානයේ තිබූ සාක්ෂි සැකකරුවන් විසින් විනාශ කිරීමට පියවර ගෙන තිබුණේ ද යන බරපතළ සැකය මතුවන බව සදහන් කළේය.

    එම දැරිය රෝහල් ගත කළ අවස්ථාවේ ඇය තමන් විසින්ම ගිනි තබා ගත් බවට සටහනක් යොදා තිබෙන්නේ "රන්දික" නමැති වෛද්‍යවරයෙකු බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවවසීය.

    මේ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නයක් යොමු කරමින් මෙම රන්දික නැමැති වෛද්‍යවරයාගේ ප්‍රකාශයක් සටහන් කර ගතහොත් දැරිය රෝහල්ගත කළ පසුව ප්‍රකාශ කළේ කුමක් දැයි පැහැදිලිව අනාවරණය කරගැනීමට හැකිවනවා දැයි විමසීය.

    ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ මෙම රන්දික නැමැති වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පරීක්ෂණ කණ්ඩායම් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

    එම වෛද්‍යවරයා මේ වන විට විදේශගත වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කෙසේවෙතත් zoom තාක්ෂණය ඔස්සේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.

    මෙම දැරිය රෝහල් ගත කරන අවස්ථාවේ ඇය නියම සිහි බුද්ධියෙන් සිටින බවට කිසිදු වෛද්‍යවරයෙකු විසින් සටහන් යොදා නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය පැවසීය.

    මෙම අපරාධය සම්බන්ධයෙන් ඉකුත් සෙනසුරාදා අත්අඩංගුවේ පසුවන රිෂාද් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගත් බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී මෙම දැරිය පිළිබඳව තමා හරියාකාරව නොදන්නා බවට ඔහු ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් කළේය.

    අදාළ නිවසේ ගෘහ මූලිකයා වශයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට මෙවැනි ප්‍රකාශයක් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ විසින් නිවසේ මෙහෙකාරකමට පැමිණෙන දැරියන්ට අඩන්තේට්ටම් කිරීම, නිසි පරිදි ආහාර ලබා නොදීම, වැනි ක්‍රියා සිදු කර ඇති බව මීට පෙර එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටී තරුණියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.

    නිවසේ වැසිකිලිය නිසි පරිදි නොසේදූ බවට චෝදනා කරමින් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ එක්තරා මෙහෙකාරියකගේ මුහුනට වතුර බටයකින් ජල ප්‍රහාරයක් එල්ල කොට අඩන්තේට්ටම් කර කර තිබූ ආකාරය විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඔහු පැවසීය.

    විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට එල්ලවී තිබෙන චෝදනා වලට ඇප ලබාදීමට අධිකරණයට බලයක් තිබෙන හෙයින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

    තම සේවාදායකයින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් පොලිසිය විසින් ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බවත් ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව ඔවුන් ඇප මත මුදා හළ හැකි බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සැකකරුවන්ගේ පෙර හා පසු හැසිරීම් සලකා බැලීමේදී ඔවුන්ගෙන් විමර්ශන වලට බාධාවක් එල්ල වනු ඇතැයි සැකයක් මතුවන බව සඳහන් කළේය.

    විශේෂයෙන්ම මෙම අපරාධය සිදු වීමෙන් පසුව පොලිස් මූලස්ථානයේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ ස්ථානයට කැඳවීම, මෙම නඩුවේ සාක්ෂිකරුවෙකුගේ දුරකථන ඇමතුම් පිළිබඳව විස්තර වාර්තාවක් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම වැනි ක්‍රියා හරහා ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම, සාක්ෂි විනාශ කිරීම, සාක්ෂි අතුරුදන් කිරීම වැනි ක්‍රියා වල නිරත වීමට ඉඩකඩ පවතින බවට අධිකරණයට සැකයක් මතුවන බවයි මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ.

    සැකකරුවන්ගෙන් සමාජ හා ආර්ථික පසුබිම සලකා බැලීමේදී ඔවුන් මෙවැනි ක්‍රියාවල නිරත වීමට සහ විමර්ශනවලට භාජනය වන ආයතනවලට බලපෑම් කිරීමට හැකියාවක් තිබෙන හෙයින් ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

    ඒ අනුව එම සැකකරුවන් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

    Last modified on සදුදා, 09 අගෝස්තු 2021 17:31

    Latest News