පාස්කු බෝම්බකරුගේ තඹ කම්හලට රිෂාඩ් බදියුදීන් අනුග්‍රහය දුන් බවට කරුණු

ජූලි 28, 2021

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් තඹ කර්මාන්ත සමාගමක් වෙත එවක කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් පාලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විශේෂ අනුග්‍රහයක් සලසා දී තිබූ ආකාරය පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

    මෙම පෙත්සම් සලකා බැලීම විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරිණ.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති තඹ නිෂ්පාදන සමාගම ස්ථාපිත කරන ලද්දේ 2017 වසරේ බවත් එම අවස්ථාවේදී පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිහිපත් කළේය.

    කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරද්දී ඔහුගේ යටතේ තිබූ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි තඹ හා ලෝහ ද්‍රව්‍ය කර්මාන්තකරුවන් වෙත බෙදාහැරීමේදී ඉන් 86% කට වඩා අදාල මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් කර්මාන්ත ශාලාව වෙත ලබාදී තිබූ බවද ඔහු පැවසීය.

    අදාළ කර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් 147 දෙනකු පමණ සිටිය දී මෙම මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් සමාගම වෙත අබලි ලෝහ හා තඹ තොග වලින් 86% කට වඩා ප්‍රදානය කර ඇත්තේ රිශාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අනුග්‍රහය ඇතිව බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුගේ අනුග්‍රහය නොමැතිව මෙවැනි ක්‍රියාවක් සිදු විය නොහැකි බවත් පෙන්වා දුන්නේය.

    තවදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා 2019 වසරේ මාර්තු මස 27 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තඹ හා ලෝහ නිෂ්පාදනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙට්‍රික් ටොන් 260ක තඹ නිෂ්පාදන අපනයනය කිරීම සඳහා නිෂ්පාදන සමාගම් තුනකට අවසර ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා නියෝග කර තිබූ බව පැවසීය.

    එසේ තිබිය දී එවක කර්මාන්ත අමාත්‍යවරයාව සිටි රිශාඩ් බදියුදීන් සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ රියාජ් බදියුදීන්ගේ බලපෑම මත, එම මෙට්‍රික් ටොන් 260ක මුලු තම නිෂ්පාදන ප්‍රමාණයම අපනයන කිරීමේ අවස්ථාව ඉන්සාෆ් අහමඩ් නැමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් කොලෝසස් සමාගමට ලබා දී තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් ක‍ළේය.

    ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නියෝගයක් පවා ඉවත දමමින් මෙට්‍රික් ටොන් 260 ක තඹ තොගය අපනයනය කිරීමේ අවස්ථාව අදාළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් සමාගමට ලබාදීමට එවක කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ශන්මුගපිල්ලේ බාලසුබ්‍රමනියම් ක්‍රියාකර ඇත්තේ එවක කර්මාන්ත අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන්ගේ බලපෑම නිසා බවත් ඔහුගේ බලපෑමක් නොමැතිව කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාට මෙවැනි ක්‍රියාවක් සිදු කළ නොහැකි බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ත්‍රස්තවාදීන්ට මුදල් ඉපැයීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ෂන්මුගපිල්ලේ බාලසුබ්‍රමනියම් නැමැත්තා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේ ඔහු විදේශගත වී ඇති බවට කරුණු අනාවරණය වූ බවත් ඒ අනුව ඔහු යළි දිවයිනට පැමිණියහොත් වහා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මඟින් සියලුම ගුවන්තොටුපළවල් වෙත නියෝගයක් ලබා ගෙන තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    වැඩිදුර පෙත්සම් සලකා බැලීම අගෝස්තු මස 25 වැනිදා තෙක් කල් තැබිණ.

    Latest News