අලිවැට නඩත්තු කිරීමේ ස්වේච්ඡා බළකා නියමු ව්‍යාපෘතිය ඇරඹීමට උපදෙස්

ජූලි 14, 2021

    අලිවැට නඩත්තු කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශිය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ.

    එය වන අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කළේය.

    වන අලි- මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා දීප ව්‍යාප්ත විදුලි වැට ඉදි කිරීම පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී ඊයේ (13) දින පස්වරුවේ මේ බව අවධාරණය කළේය.

    වනජීවි සංරක්ෂණ හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවලට පමණක් මෙහි සමස්ත වගකීම නොපැවරෙන පරිදි අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ග්‍රාම නිලධාරින් ඇතුළු රාජ්‍ය ආයතන, නිලධාරින් සහ ග්‍රාමීය ප්‍රජා සංවිධාන ඇතුළත් ස්වේච්ඡා බළකායක් මගින් මෙම වන අලි - මිනිස් ගැටුම පාලනයට කළ හැකි බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

    2021 වර්ෂයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වැඩසටහනක් ලෙස කිලෝමීටර් 1500ක විදුලි වැට ප්‍රමාණයක් දීප ව්‍යාප්තව ඉදි කිරීමට සැලසුම් කර තිබේ.

    මේ වනවිට ඊට අදාළ අමුද්‍රව්‍ය සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන්ව ඇති අතර දිස්ත්‍රික්ක 19ක් ආවරණය කරමින් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශිය වනජීවි කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල අලි වැට ඉදිකිරීම සඳහා දායකත්වය සපයයි.

    දැනට ඉදිකර තිබෙන කිලෝමීටර් 4500ක් පමණවන අලිවැට නඩත්තු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 3900ක් යොදා ඇති අතර ඊට බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ 1500ක පිරිසක් බඳවා ගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී හෙළි කළේය.

    මෙම අවස්ථාවට වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්.පී.පී ප්‍රනාන්දු, අතිරේක ලේකම් (සංවර්ධන) දීපාල් සිරිබද්ධන, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.සී.එම් හේරත්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී නිහාල් සිරිවර්ධන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රංජන් ලමාහේවගේ මහත්ම මහත්මීහු ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

    Latest News