එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගුවන්විදුලි පණිවුඩ මැකීයාම ගැන පරීක්ෂණයක්

ජූලි 13, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වූ වකවානුවේ එහි කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර් වරයා අතර සිදු වූ බව කියන ගුවන්විදුලි පණිවුඩ හුවමාරු ඇමතුම් සටහන් වී තිබුණේ යැයි කියන යන්ත්‍රයේ තිබූ දත්ත මැකී යාමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

    මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

    රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ හාබර් මාස්ටර් කාර්යාලයේ තිබූ මෙම ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍රයේ තිබූ දත්ත පිළිබඳව එම යන්ත්‍රය නිෂ්පාදනයක් කළ සමාගමේ දේශීය නියෝජිත ආයතනය හරහා විමර්ශන සිදුකළ බවයි.

    එහිදී ඉකුත් මැයි මස 01 වැනිදා සහ ජුනි මස 10 වැනිදා අතර කාල සීමාවට අයත් දත්ත මැකී ගොස් ඇති බව අනාවරණය වුණේ යැයි සදහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ පිළිබඳව හාබර් මාස්ටර් වරයා සහ එම කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පැවසීය.

    මෙම දත්ත මැකී ගියේ කෙසේද? ඊට වගකිවයුතු පුද්ගලයින් සිටී ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා මෙම විමර්ශන සිදුකරන බව ප්‍රකාශ කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම විමර්ශනවලදී එම සිද්ධියට වගකිවයුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් සඳහන් කළේය.

    එම අවස්ථාවේදී නෞකාවේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය ආරම්භයේ පටන් හාබර් මාස්ටර් වරයාගේ කාර්යාලයේ තිබූ මෙම ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ තිබෙන දත්ත පරික්ෂා කරන ලෙස තමන් දිගින් දිගටම ඉල්ලා සිටියත් එය පරික්ෂා කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිතාමතාම මඟ හැර ගිය බව පැවසීය.

    එම දත්ත පරික්ෂා කර තිබුණේ නම් මෙම සිද්ධියේ සත්‍යය අනාවරණය කර ගැනීමට හැකියාව තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා දැන් එම යන්ත්‍රයේ තිබූ දත්ත මැකී ගොස් ඇතැයි, ප්‍රකාශ කිරීම බරපතල සැකයකට තුඩු දෙන බවත් පෙන්වා දුන්නේය.

    සත්‍යය අනාවරණය වීම වැළැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ යැයි තමන් තුළ සැකයක් මතුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා ස්වාධීන පරීක්ෂණයක් නොකෙරෙන ස්ථානයක නීතියේ පිහිට ජනතාවට හිමි නොවන බවත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

    අදාළ නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් මුහුදු සත්වයින් විශාල පිරිසක් මියගොස් තිබූ බව ඉකුත් දා පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ සඳහන් කර තිබිණ.

    එම මුහුදු සත්වයින්ගේ මරණවලට හාබර් මාස්ටර් වරයා සෘජුවම වගකිව යුතු බවත් හාබර් මාස්ටර් වරයාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් මෙම ඛේදවාචකය හටගත් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.

    එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම දත්ත මැකී යාම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

    සත්‍යය වසන් කිරීමේ අවශ්‍යතාවයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා මෙම දත්ත මැකී යාමේ සිද්ධියට කිසියම් පුද්ගලයකු සම්බන්ධ බවට කරුණු අනාවරණය වුණේ නම් තරාතිරම නොබලා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් පැවසීය.

    මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන වලට භාජනය වී සිටින නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 24 දෙනාගෙන් 14 දෙනෙකු
    වෙනුවෙන් පණවා තිබෙන විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කිරීමට හැකියාව පවතින හෙයින් එම තහනම් නියෝග ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් තහනමකට ලක්ව සිටි අදාළ නෞකාවේ කාර්යමණ්ඩලය සාමාජිකයින් 14 දෙනෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.

    එමෙන්ම අදාල නෞකා අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් විවිධ ස්ථාන වලින් ලබාගත් ජලය හා පස් සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ඇන්දවීමට නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලීමක් කළේය.

    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    අනතුරු පැමිණිල්ල ලබන 30 වැනිදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

    Latest News