එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන විමර්ශන තවදුරටත්

අගෝ 03, 2022

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේය.

    මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි. 

    එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වැනිදා කැඳවන ලෙස නියම කළේය.

    එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙසයි විනිසුරුවරයා රජයේ නීතිඥයාට දැනුම් දුන්නේ.

    මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින සැකකරුවන් වන අදාළ නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි සහ එම නෞකාව දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන්දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    Latest News