“අමාදම් සිසිලස” 211වැන්න අරලියගහ මන්දිරයේ දී

ජූනි 24, 2021

    සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස”ධර්ම දේශනා මාලාවේ 211 වැන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ලංකාගමනය සිදු වූ පොසොන් පුන් පොහොය නිමිත්තෙන් අද (24) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    උඩුගම්පොල දොඹවල ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරාධිකාරී නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනපති රාජකීය පණ්ඩිත කොබ්බෑවල මේධංකර ස්වාමීන්වහන්සේ මෙවර අමාදම් සිසිලස ධර්ම දේශනාව සඳහා වැඩම කළහ.

    ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ රාජකීය පණ්ඩිත කොබ්බෑවල මේධංකර ස්වාමීන්වහන්සේට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කළාය.

    ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදා දීමේ අරමුණ පෙරදැරිව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපද පාලියේ සුඛ වග්ගයේ එන ගාථා පාඨයක් සහ ධම්ම පද අට්ඨ කතාවක් මූලාශ්‍ර කරගනිමින් පැවැත්විණි.

    සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති “අමාදම් සිසිලස” 211 වැනි ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පවුලේ සාමාජිකයෝ කිහිපදෙනෙක් එක්ව සිටියහ.

    Latest News