අසාද් සාලිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට ගැන විමර්ශන අවසන් - නීතිපති දන්වයි

ජූනි 14, 2021

    බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් පසුගිය මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි, නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අසාද් සාලි මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් අද කැදවනු ලැබිණ. 

    එල්. ටී .බී දෙහිදෙණිය, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැදවිණ.

     අසාද් සාලි මහතා විසින් ඉකුත් මාර්තු මස 09 වැනිදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. 

    විමර්ශන කටයුතුවලට අදාළ උද්ධෘත ජුනි මස 1 වැනිදා නීතිපති වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමුකර ඇති බව ඔහු කියා සිටිිිිියේය. ඉදිරි සතිය තුළ එම උදෘත පරික්ෂාකර චෝදනා ගොනු කිරීමට හැකියාවක් තිබේද? යන්න තීරණය කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නේය.

    මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට අසාද් සාලි සම්බන්ධයෙන් සිදුකරණ  විමර්ශන තවදුරටත් පැවැත්වෙන බව විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසීය. 

    මෙම විමර්ශනයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ලබාඟැනීමට අවශ්‍යව ඇතැයි ඔහු වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.අසාද් සාලි මහතා මාධ්‍ය හමුවේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජ ගතවී ඇතැයි ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කියා සිටියේය.

    අවශ්‍ය නම් පෙත්සම්කරු කළ ප්‍රකාශය පිළිබඳව නිසි කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට සූදානම් බවත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේය. අනතුරුව පත්සම සලකා බැලීම ලබන 28 වැනිදා තෙක් කල් තැබිණ.

    පසුගිය මාර්තු මස 9 වැනිදා මාධ්‍ය හමුවක දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බව අසාද් සාලි මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් කියා සිටියේය.  ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස හා අත්අඩංගුවෙන් මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙසත් අසාද් සාලි මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    නීතීඥ ගෞරි තවරාසා මහත්මිය මගින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අසාද් සාලි මහතා විසින් ඉදිරිපත් කර තිබේ. 

    Last modified on සදුදා, 14 ජූනි 2021 15:51

    Latest News