අසාත් සාලිගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර

ඔක් 11, 2021

    අසාද් සාලි මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

    ඒ, තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශ කළ ලෙස ඉල්ල ඔහු පෙත්සම ගොනු කර තිබෙනවා.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මගින් මෙම නියෝගය කරනු ලැබුවා.

    ඒ අනුව මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 19 දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අධිකරණය නොතිසි ද නිකුත් කළා.

    නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 19 වන දාට පෙර ගොනුකරන ලෙස පාර්ශවකරුවන්ට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය දෙසැම්බර් මස 15 වනදා සිදු කරන බවත් නියෝග කළා.

    පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිය සේවාදායකයා පළකළ අදහස්වලින් ජාතීන් අතර සහෝදරත්වය හා සංහිඳියාව බිද හෙලීමට ක්‍රියා කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු මස 16 වනදා ඔහු අත් අඩංගුවට ගත් බව සඳහන් කළා.

    තම සේවාදායකයාට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් ව නොමැති පසුබිමක් තුළ ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු චෝදනා කළා.

    මුස්ලිම් නීතිය, උඩරට නීතිය මෙන්ම තේසවලාමේ නීතිය පිළිබඳව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී තම සේවාදායකයා විසින් අදහස් ප්‍රකාශ කර ඇත.

    රටේ පවතින පූද්ගලික නීතියක් පිළිබඳව අදහස් පළකිරීම නීතිය උල්ලංගනය කිරීමක් වන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා.

    මෙහිදී විනිසුරු එස්.තුරෙයිරාජා මහතා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් පෙත්සම්කරු ගේ සමස්ත ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී ඔහු රටේ පොදු නීතිය නොපිළිගන්නා බවක් ගම්‍ය වනවා නොවේදැයි විමසුවා.

    යම් පූද්ගලයෙකු රටේ පුද්ගලික නීතියක් පිළිගන්නා බව ප්‍රකාශ කළ පමණින් ඔහු රටේ පොදු නීතිය නොපිළිගන්නා බවක් ගම්‍ය නොවන බව කී ජනාධිපති නීතිඥවරයා මාධ්‍ය විසින් තම සේවාදායකයාගේ ප්‍රකාශය වික්‍රෘති කොට විකාශය කොට ඇතැයි සඳහන් කළා.

    එවිට පෙරලා ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු තුරෙයිරාජා මහතා අදාළ ප්‍රකාශය විකෘති කර මාධ්‍යවලින් විකාශය කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කරු පැමිණිල්ලක් සිදු කළේ දෑයි විමසුවා.

    එහිදී ජනාධිපති නීතිඥවරයා පැවසුවේ එවැනි පැමිණිල්ලක් සිදු කීරීම අනවශ්‍ය බවයි.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ප්‍රකාශය විකෘති කර මාධ්‍යවල පළකිරීම සම්බන්ධයෙන් පෙත්සම්කරු අත්අඩංගුවට පත් වීමට ප්‍රථම ඔහු විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේ දැයි විමසුවා.

    ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා පැවසුවේ එවැනි පැහැදිලි කිරීමක් නොකළ බවයි.

    විනිසුරු තුරෙයි රාජා මහතා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම මාධ්‍ය හමුවේ දී පෙත්සම්කරු ඔහු අදහන කූරාණය පිළිබඳව පවා නොමග යවන සුළු ප්‍රකාශ සිදු කර ඇති බවත් කුරාණයට අපහාස කිරීම "ෂරියා" නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් යැයි පෙන්වා දුන්නා.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු සහ භික්ෂූන් වහන්සේලා දෙනමක් විසින් සිදු කළ ලිඛිත පැමිණිල්ලකට අනුව පෙත්සම්කරු සම්බන්ධ විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.

    මෙම විමර්ශනවල දී පුද්ගලයින් 53 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

    ප්‍රශ්ණ ගත මාධ්‍ය සාකච්ඡාවේදී සිදූකළ ප්‍රකාශ සහ මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව පෙත්සම්කරු අත්අඩංගුවට ගත් අතර සිදු කරන ලද පරීක්ෂණවල දි මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියට හෝ පාස්කු ප්‍රහාරවලට පෙත්සම්කරු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පිළිගත්තා.

    සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අසාද් සාලි මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නා.

    Latest News