'එක්ස්ප්‍රස් පර්ල්' ලංකාවට ඇතුළු වූ ආකාරය ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජූනි 04, 2021

    ගිනි ගැනීමට ලක්වූ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

    පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වරාය කටයුතු භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාරා ආයතනය ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදු වූ බවයි.

    මේ හේතුවෙන් ධීවරයින්ට සිය රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වී තිබෙන බවද පෙත්සම්කරුවන් පවසයි.

    ඊට අමතරව ආර්ථික, සංචාරක සහ නාවික ක්ෂේත්‍රයන්ට ද මෙම අනතුර හේතුවෙන් විශාල අගතියක් සිදු වූ බවයි පෙත්සම්කරුවන් කියා සිටින්නේ.

    මේ තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙසත්, අනතුරක් පවතිද්දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලැබුණේ කෙසේද? යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    ඊට අමතරව මෙම අනතුරට වගකිවයුතු බලධාරීන්ගෙන් සුදුසු වන්දි අයකර දෙන් දෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නෞකාවන් මේ ආකාරයෙන් අනතුරු වලට ලක් වීම ලක් වන අවස්ථාවක එවා වලක්වා ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස්කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Latest News