"ගම සමඟ පිළිසඳර" පොළොන්නරුවට පොරොන්දු වූ නව නිවාස 113ක් ඉදිකිරීම ලබන සතියේ - අමාත්‍ය නාමල්

මැයි 30, 2021

    පොළොන්නරුව වෙඩිකච්චිය ගම්මානයේ පැවැති ගම සමඟ පිළිසඳර 06 වැනි වැඩසටහනෙන් පොරොන්දු වූ පරිදි එම ගම්මානයේ ජනතාවට නව නිවාස 113ක් ඉදිකිරීම ලබන සතියේ ආරම්භ කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ගම සමඟ පිළිසඳර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමට පොළොන්නරුව වෙඩිකච්චිය ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (29) දින මේ බව අවධාරණය කළේය. ජනපති ගම සමඟ පිළිසඳර හය වැනි වැඩසටහන මෙයට මාස හතරකට පෙර පොළොන්නරුව මැදිරිගිරිය, වෙඩිකච්චිය ගම්මානයේ දී පැවැත්විණි.

    එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය පහසුකම් රහිත වෙඩිකච්චිය ග්‍රාමයේ දැනට තිබෙන නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව ප්‍රකාශ කළේය. ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපතිවරයා වශයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ පසු විපරමක යෙදීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාවේ නිරතවිය.

    Namal px 900 30 05 21

    ඒ සඳහා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ද එක්ව සිටියේය. ලක්ෂ හය බැගින් ආධාර ලබා දෙමින් එම නිවාස 113 හි කටයුතු ආරම්භ කෙරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. මෙයට අමතරව මෙම ගම්මානයේ කිලෝමීටර් 08ක ග්‍රාමීය මාර්ග පද්ධතිය, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ඉතා කඩිනමින් ආරම්භ කෙරෙනු ඇත.

    මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, ඉන්දික අනුරුද්ධ,අනුරාධ ජයරත්න, තේනුක විදානගමගේ, රොෂාන් රණසිංහ, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහත්වරු, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශවල නිලධාරි පිරිසක් එක්ව සිටියහ.

    Latest News