පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙති

මැයි 30, 2021

    කොරෝනා වෛරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අද උදෑසන අපවත් විය.

    අපවත් වනවිට උන්වහන්සේ 69 වන වියේ පසුවිය. මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ලෙස පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඉතිහාසගත වේ. නව සම සමාජ පක්‍ෂයේ සාමාජිකයෙකු ලෙස 1991 වසරේ ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කරමින් උන්වහන්සේ දේශපාලනයට පිවිසියේය.

    1997 වසරේ දී දකුණු පළාත් සභාවට තරග කරමින් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය. ලංකා සම සමාජ පක්‍ෂයට පසුව එක් වූ බද්දේගම සමිත හිමියන් 2001 වසරේ පැවති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට‍ තේරී පත්විය. පසුව දකුණු පළාත් සභාව නියෝජනය කරමින් දේශපාලනයේ නිරත වූ බද්දේගම සමිත හිමියන් කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට මහත් කැපවීමෙන් උදව් උපකාර කළේය.

    අධිරාජ්‍ය විරෝධි දේශපාලන මතයක් දැරූ හිමිනමක් ලෙස උන්වහන්සේ ප්‍රසිද්ධියක් උසුලයි. කොවිඩ්-19 රෝගය වැළඳීම නිසා අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබාගත් උන්වහන්සේ සුව අතට පත්වුවද ශ්වසන අපහසුතාවක් නිසා මීට දින කිහිපයකට පෙර නැවතත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය. පසුව අද උදෑසන උන්වහන්සේ අපවත් වූහ. 

    Latest News