නැව් ගින්නේ පරිසර හානිය අවම කරමින් ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට සහන දෙන්න; අගමැති

මැයි 29, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (29) උපදෙස් ලබා දුන්නේය.

    ඒ අද පෙරවරුවේ නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

    සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නා ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. එසේ ම මෙවැනි ආපදාවලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන ලෙස ද අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    ගිනිගත් නෞකාවේ බලපෑමට ලක්වන මුහුදු තීරයේ දෛනික ධීවර කටයුතු නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් ධීවරයන් වෙනුවෙන් සැලැස්මකට අනුව සහන සැලසීමේ අවශ්‍යතාව ද ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාට පෙන්වා දුන්නේය.

    සමුද්‍රීය දූෂණය වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින නාවික හමුදාව ඇතුළු සියලු දෙනාට අගමැතිතුමා විශේෂ ස්තුතිය පළ කළේය.

    Latest News