පිටකොටුව තොග වෙළෙඳපොළ හෙට වෙළෙඳුන්ට විවෘතයි

මැයි 15, 2021

    දිවයින පුරා තොග වෙළෙඳුන්ට තම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් බලපත්‍රයක් ලබාගෙන හෙට සිට පිටකොටුව තොග වෙළෙඳපොළෙන් ද්‍රව්‍ය ලබා ගැනීමේ අවස්ථාව සැලසෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පිටකොටුව ප්‍රදේශයේ අද නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියි. දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබ ඇත්තේ, ඉකුත් 13 වැනිදා රාත්‍රී 11.00 සිටයි.

    අමාත්‍යවරයා ඇතුළු පිරිස අද උදෑසන පිටකොටුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ එමගින් තොග වෙළෙඳුන් මුහුණ පා ඇති අපහසුතා සොයා බැලීම සඳහායි.

    මෙහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම පොලීසිය සමග කළ සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙස, හෙට සිට තොග වෙළෙඳාමට පමණක් දිවයින පුරා වෙළෙඳුන්ට බලපත්‍රයක් ලබාදීමට තීරණය කර තිබේ.

    මේ අතර, සංචරණ සීමා පනවා ඇති කාලය තුළ මත්ස්‍ය තොග අලෙවි කර ගැනීමට කිසියම් බාධාවක් පවතින්නේ නම් ඉතිරි වන සියලු තොග ධීවර සංස්ථාව සෘජුව මැදිහත්වී මිලදී ගැනීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අද උදේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    Last modified on සෙනසුරාදා, 15 මැයි 2021 16:16

    Latest News