සතොස සහන මල්ල -2 හෙට සිට

මැයි 01, 2021

    අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් ‘සතොස සහන මල්ල - 2‘ මැයි මාසයේ 2 වැනිදා සිට ලබාදීමට නියමිත බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) ප්‍රකාශ කළේය.

    ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කර සිටියේ, පසුගිය සහන මල්ලට වඩා මෙවර සහන මල්ලට සම්බා සහ නාඩු හාල් කිලෝව බැඟින් ඇතුළත් කර ඇති බවයි.

    සම්බා හාල් කිලෝග්‍රෑම් 1, නාඩු හාල් කිලෝග්‍රෑම් 1, පිටි කිලෝග්‍රෑම් 1, රතු ඔස්ට්‍රේලියානු පරිප්පු කිලෝග්‍රෑම් 1, සුදු සීනි කිලෝග්‍රෑම් 1, තායි හාල් මැස්සෝ ග්‍රෑම් 200, විෂ බීජ නාශක දියර මිලිලීටර් 50ක බෝතලයක්, මුහුණු ආවරණයක්, තේ කොළ ග්‍රෑම් 100ක්, සෝයා මීට් ග්‍රෑම් 50 පැකට් එකක්, කෑලි මිරිස් ග්‍රෑම් 100 ආදිය සතොස සහන මල්ල 2හි ඇතුළත් වේ.

    රුපියල් 1,000ක මිලට ඕනෑම සතොස ශාඛාවකින් මේ සහන මල්ල ගත හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඒ අනුව මේ මස 2 වැනිදා සිට ශ්‍රී ලංකාව පුරා ඇති සතොස වෙළෙඳ මධ්‍යස්ථානවලින් සහන මල්ල ගත හැකි බවත් එම සහන මල්ල ගන්නා පාරිභෝගිකයන්ට රු. 5ක් අඩුවෙන් ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක්ද ලබාගත හැකි බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    Latest News