අග්‍රාමාත්‍යවරයා “අමාදම් සිසිලස” 209 වැන්නට එක්වෙයි

අප්‍රේ 26, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 209 වැන්න අද (26) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    පළමුව අග්‍රාමාත්‍යතුමා, ආර්යාව ඇතුළු පිරිස ආගමික වතාවත්වල නිරත වූහ. අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද මැදවච්චියේ ධම්මජෝති නාහිමියන්ට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.

    ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදා දීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 209 වැන්නේ බක් පුන් පොහොයේ වැදගත්කම සහ ‍චක්කවත්ති සිහනාද සූත්‍රය, කූඨ දන්ත සූත්‍රය සහ ගන්ඨ තීන්දු ජාතකය මූලාශ්‍ර කරගනිමින් යහපත් රාජ්‍ය පාලනයක් පිළිබඳව ධර්ම කරුණු සාකච්ඡා කෙරිණි.

    ධර්ම දේශනාවන් මේ ආකාරයට පැවැත්වීමේ කලාව සොයාගෙන යනවිට අපි දන්නවා දුටුගැමුණු රජතුමා මේ ආකාරයට සෑම පුන් පොහෝ දිනකම ධර්ම දේශනාවක් පැවැත්වීමේ කාර්යය ඉටු කර තිබෙනවා. ඒ අනුව කල්පනා කරන විට අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මෙවැනි ධර්ම දේශනා මාලාවක් අඛන්ඩව පවත්වාගෙන යාම යහපත් කටයුත්තක් ලෙස සිහිපත් කරනවා යැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද මැදවච්චියේ ධම්මජෝති නාහිමියෝ මෙහිදී පැවසූහ.

    අග්‍රාමාත්‍යතුමාට හොඳ බෞද්ධ නායකයකු ලෙස රටේ විශාල ප්‍රසාදයක් තිබෙනවා,ඒ වගේම රටේ ජනතාව අග්‍රාමාත්‍යතුමා ගැන ආදරයෙන් කතා කරන්නෙ යැයි සිහිපත් කළ ධම්මජෝති නාහිමියෝ ජාතික නායකයන් අතර අපට සිටින ප්‍රධානියා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා යැයි ප්‍රකාශ කළහ.

    කැබතිගොල්ලෑව බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ ආරක්ෂක අංශ එපා කියද්දි ඒ ජනතාව අතරට ගිය අග්‍රාමාත්‍යතුමා, ත්‍රස්තවාදය අවසන් කරන්න එදා සෘජු තීන්දුවක් ගත්තා යැයි පැවසූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද මැදවච්චියේ ධම්මජෝති නාහිමියෝ සෘජු ගතිය මෙන්ම අග්‍රාමාත්‍යතුමාගේ පවතින මෘදු ගතිය නිසා, රටේ ජනතාව මහින්ද මහත්තයා කියලා බොහොම ආදරයෙන් කතා කරන බව කියා සිටියහ.

    යුද්ධය අවසන් කිරීමෙන් පසුව ආර්ථික අභියෝග ජයගනිමින් රට ඉදිරියට ආ බව සඳහන් කළ ධම්මජෝති නාහිමියෝ වසංගත තත්ත්වය මත රට පමණක් නොව මුළු ලෝකයම

    පීඩාවට පත්ව තිබෙන බවත් මෙම කාලවකවානුවේ අභියෝග ජයගැනීමට පාලකයන්ට සහයවන ආකාරයට මහජනතාව ද කටයුතු කළ යුතු බවත් දේශනා කළහ.

    දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවෙන් මිදීමට, වගකීම කියන්නෙ නීතියෙන් පැවරෙන දෙයක්. යුතුකම කියන්නෙ හදවතින් කරන දෙයක්. වගකීම විතරක් නෙමෙයි අපට යුතුකමකුත් තියෙනවා යැයි සිහිපත් කළ ධම්මජෝති නාහිමියෝ, වගකීම් කොටස විතරක් ඉටු කර රටක් දියුණු කරන්න අමාරුයි යැයි ද යුතුකම් කොටසත් අප අතින් ඉටුවිය යුතු යැයි ද පෙන්වා දුන්හ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති “අමාදම් සිසිලස” 209 ධර්ම දේශනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සමීපතයන් කිහිපදෙනෙක් පමණක් සහභාගී වූහ.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ද ධර්මය ශ්‍රවණය කිරීමට එක්ව සිටියේය.

    Latest News