රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට ඇප

අප්‍රේ 01, 2021

    බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

    අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළා.

    මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපල බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර සිටියා.

    විත්තිකරුවන් නඩු විභාග සඳහා අඛණ්ඩව පෙනී සිටීම අත්‍යාවශ්‍ය කරුණක් යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එසේ නඩු විභාගයට පෙනී සිටීම මග හරිනු ලැබූවොත් ඇප අවලංගු කොට නඩු විභාග අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද නියම කළා.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ඉතා සංකීර්ණ නඩු කටයුත්තක් බවයි.

    එබැවින් විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අයිතිය සුවිශේෂී කරුණක් සේ සලකා ඔවුන් ඇප මත මුදාහැරීමට තීන්දු කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ

    අනතුරුව නඩුව යළි අපෙන් මස 29 වනදා කැඳවීමට ද නියම කෙරුණි.

    2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News