ලිට්‍රෝ නඩුවට දෙවැනි දිනටත් චමින්දගෙන් සාක්ෂි

පෙබ 01, 2019

    හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද(01) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණ.


    ඒ අනූව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද රණසිංහ මහතාගෙන් දෙවන දිනටත් සාක්ෂි සටහන් කරගැනීම අද සිදුකෙරිණ. විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්ණ වලට මෙහි දී සාක්ෂිකරු පිළිතුරු ලබාදුන්නේය. වැඩිදුර විමසීම ලබන 05 වනදාට කල් තැබිණ.

    නඩුව විභාගයට ගැනුණේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

    2014 පෙබරවාරි 01 වැනිදා සිට 2015 ජනවාරි 20 වැනිදා දක්වා කාලසීමාව තුළ, ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් "හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා" නමැති සමාගමට යෙදවීම තුළින්, රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඔවුන්ට ඇති චෝදනාවයි.

    ඒ අනූව පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 16:50

    Latest News