ඝණ ආහාරවලටත් වර්ණ සංකේත එයි;නිෂ්පාදකයින් එකඟයි 

පෙබ 01, 2019

    බෝනොවන රෝග පාලනය කිරිමේ අරමුණින් මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරීමේ තීරණයට සහයෝගය ලබාදෙන බව ඝණ ආහාර දේශීය නිෂ්පාදකයින් සෞඛ්‍ය අමාත්‍යවරයාට අද ප්‍රකාශ කර තිබේ.

    බිස්කට්, බේකරි කෑම වර්ග සහ අනෙකුත් ඝණ ආහාර නිෂ්පාදකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. මෙම තීරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා නිෂ්පාදන සමාගම් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා මාර්තු මාසයේ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද තීරණය කරන ලදි.

    වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම අප්‍රේල් මස 01 දා සිට ආරම්භ වන අතර, එහි නිල උත්සවය අප්‍රේල් මස 02 දා කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත.

    ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර වල අධික සීනි, ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සදහා වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප්‍රධාන රාමුවේ ප්‍රදර්ශණය කළ යුතු වෙයි. එමගින් පැණිබීම මිලදී ගැනීමේ දී වර්ණ සංකේත කෙරෙහි ජනතාව දැක් වූ අවධානය ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර මිල දී ගැනීමේ දී ද යොමු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

    පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමය 2017 වසරේ සිට ක්‍රියාත්මක විය. එම වර්ණ සංකේත ක්‍රමය නිෂ්පාදනය කරනු ලබන ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර සදහා ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කළේ 1980 අංක 26 දරණ ආහාර පනතට අනුවය.

     

    Latest News