ශර්මිලාගේ පෙත්සම;විභාගය ලබන 12

පෙබ 01, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම, සලකා බැලිම සඳහා ලබන 12 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කරයි.

    මෙම පෙත්සම අද (01) ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

    කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණ. පෙත්සම්කාරිය කියා සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වශයෙන් කටයුතු කරන බවයි.

    ඒ බව එම සමාගම විසින් නිකුත් කරනු ලැබූ 2014 සහ 2018 වසර වලට අදාල වාර්ෂික වාර්තාවල සඳහන් වන බව පෙන්වාදෙන පෙත්සම්කාරිය රනිල් වික්‍රමසිංහ මහතා කොටස් කාරීත්වය දරන අදාළ සමාගම මහජන බැංකුව හා ලංකා බැංකුව සමඟ ගිවිසුම්ගතවී එම බැංකුවකවලට අදාල චෙක්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීමේ ව්‍යාපාරයේ නිරත වන බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහුට හිමිකාරිත්වය ඇති සමාගමක් රජයේ ආයතන සමග ගිවිසුම් ගතවී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් යැයි පෙත්සම්කාරිය පෙන්වා දෙයි.

    ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනූව රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු බැවින් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ කෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියි. 

    එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය භාවිත කිරීම වැළැක්වීමෙන් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඇය අභියාචනාධිකරණය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 15:06

    Latest News