දැවිතෙල් ප්‍රවාහණය GPS තාක්ෂණය ඔස්සේ නියාමණය කිරීම අරඹයි

මාර් 19, 2021

    බවුසර් මගින් දැවිතෙල් ප්‍රවාහණය GPS තාක්ෂණය ඔස්සේ නියාමණය කිරීම මධ්‍යම පරිසර අධිකාරිය අද සිට (19) අරඹයි.

    නැව් මගින් බැහැර කරන දැවිතෙල් ලබා ගෙන ඒවා රට තුළ ප්‍රවාහණය කරන ඇතැම් පුද්ගලයින් රහසිගතව ඇළදොළවලට මුදා හැරීම මගින් විශාල පරිසර හානියක් මෙන්ම මහජන සෞඛ්‍යයට හානිකරවන අයුරින් කටයුතු කරන බව අනාවරණය වී තිබේ. මේ නිස මෙම දැවිතෙල් ප්‍රවාහණය කිරීම විදිමත් පරිදි නියාමණය කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙනු ලැබීය. ඒ අනුව බවුසර් මගින් දැවිතෙල් ප්‍රවාහණය GPS තාක්ෂණය ඔස්සේ නියාමණය කිරීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද සිට (19) අරඹන ලදැයි මධ්‍ය පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා අමාත්‍යවරයාට අද දින දැනුම් දෙනු ලැබීය. ඒ සඳහා මධ්‍යම පරිසර අධීකාරියේ නිලධාරියෙකුගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. දැනට මෙම දැවිතෙල් ප්‍රවාහණය කිරිම සඳහා ආයතන 23කට බලපත් ලබා දී ඇති අතර, ආයතන දෙකක් විසින් ඒවා ගබඩා කර තබා ගැනීම සිදුකරයි. දැවිතෙල් ප්‍රවාහණය GPS තාක්ෂණය ඔස්සේ නියාමණය කරන බැවින් කිසියම් බලපත්ලාභීයෙක් ඒවා පරිසරයට මුදාහරින්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටත්, බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී ඇත. සාමාන්‍යයෙන් වාර්ෂිකව නැව්වලින් බැහැර කරන දැවිතෙල් කිලෝ ලීටර් 64,000ක් පමණ මෙරටට ගෙන එන බව අනාවරණය වී තිබේ. මෙම දැවිතෙල් අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා පිළිකා, චර්ම රෝග, ස්වශන ආබාධ ආදි රෝග රැසකට මහජනතාව ලක්වීමේ අවදානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙනු ලැබීය. එමනිසා නැව්වලින් බැහැර කරන දැවිතෙල් යොදා ගැනීම විශාල ජාවාරමක් දක්වා වර්ධනය වී ඇතැයි ද හෙළිදරව් වී තිබේ. මෙම දැවිතෙල් ජාවාරම පිළිබඳ පැහැදිළී තොරතුරු සහිත වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දුන්නේය.

    Latest News