විජයකලා මහේෂ්වරන්ට එරෙහි පැමිණිල්ලේ නිතිපති උපදෙස් මෙතෙක් ලැබී නැහැ - පොලිසිය

මාර් 19, 2021

    හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි පැමිණිල්ලේ නිතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණයට දන්වයි.

    කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි සැක කෙරෙන හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ගොනු නිතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.

    නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළා.

    අනතුරුව පැමිණිල්ල නැවත සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    2018 වසරේ ජුලි මස දෙවන දා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී අදහස් දැක්වූ සැකකාර හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය යළි නගා සිටිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ බව සඳහන් කළා.

    ඒ තුළින් ජාතීන් අතර අසමගියක් නිර්මාණය කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට ඇය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News