අල්ලස් නඩුවකින් ඇමැති රෝහිත අබේගුණවර්ධන නිදහස්

මාර් 19, 2021

    අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස රුපියල් ලක්ෂ 412 ක් වටිනා මුදල් හා වත්කම් උපයාගත්තේ යැයි චෝදනා කරමින් නිකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

    නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවයි.

    ඒ අනුව ඒ අනුව විත්තිකාර රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

    මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේ දී මූලික විරෝධතාවක් මතු කළ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙම නඩුව පැවරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන් දෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් එය පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතාවක් ද මතු කර තිබුණා.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News