නීතිය මෙහෙම උනොත් අපරාධ කළ සියල්ලන් පුද්ගලික රෝහල්වල නවතිවි - රාජ්‍ය අමාත්‍ය රෝහිත

දෙසැ 30, 2019

    මේ විදිහට නීතිය ක්‍රියාත්මක වුණොත් රටේ බරපතළ ඝණයේ අපරාධ සිදු කළ පුද්ගලයින් ගිහින් පුද්ගලික රෝහල්වල නවතිවි යැයි රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

    එ් සියලු දෙනාට හෘදයාබාධ වැළඳී ඇප ගන්න හදන විට සියලු දෙනාටම ලෙඩ හොඳ වෙවි යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යවරා මේ පිළිබඳ සඳහන් කළේ අද පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

    මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා...

    “අද අපේ රජය බලයට පත් වෙලා වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඊයේ දිනයේ අපි දුටුවා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සිදු කරන චිත්‍රපටියේ ප්‍රතිඵල ඔහු විසින්ම නෙලා ගන්න අවස්ථාව. ඔහුව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරලා. අත්අඩංගුවට ගන්න තිබියදි මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පුද්ගලික රෝහලක හෘදයාබාධයකින් පෙළි සිටින බවක් පෙන්වන විට එජාපයේ දේශපාලන නායකයින් කියනවා මේක දේශපාලන දඩයමක් කියලා. විපක්ෂය දඩයම් කරන්න හදන බව තමයි ඔවුන් කියන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර දෙයක් තිබෙනවා දෙයක් කිව්වාම තමන් ඒ දේ කිව්වේ නැහැ කියලා කියන්න පුළුවන් කියපු දේට සාක්ෂියක් නැත්නම්. දැන් ලෝකය දියුණු වෙලා තිබෙනවා. ඒ නිසා මාධ්‍ය ආයතනවල අපි කතා කරන දේ අවුරුදු 10කින් වුණත් ගන්න පුළුවන්. මාධ්‍යවේදීන් හැටියට අපිට ඔබෙන් ප්‍රශ්න කරන්න තියෙනවා යහපාලන ආණ්ඩුව දේශපාලන දඩයම අමු අමුවේ සිදු කළා. අරලියගහ මන්දිරයේ කෑම මේසයේදි.

    කම්කරු දිනයට කලින් රාජපක්ෂලාව හිරේ දාන්න ඕන කිව්වා. මේ දැන් හෘදයාබාධයක් ඇවිල්ලා එහෙම ප්‍රකාශ කරපු රාජිත් සේනාරත්නට. දැන් ජනතාව බලනවා මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමති රෝගි‍යෙක්නේ කියලා. මෙයාට සෞඛ්‍ය ඇමතිකම නොවෙයි වනිතා කටයුතු ඇමතිකමවත් දෙන්න හොඳ නැහැ. සියලු රෝග වැළඳුණු කෙනෙක් වෙලා ඔහු. රාජිත සේනාරත්න මෙහෙම රෝගියෙක් නම් මේ රටේ සෞඛ්‍ය කොහොම තියෙන්න ඇතිද? රජයේ බන්ධනාගාරයේ වෛද්‍යවරිය කියනවා මොහුව ර‍ජයේ රෝහලකට හරි බන්ධනාගාර රෝහලට හරි මාරුකරන්න කියලා. ඊට අදාළ වාහනත් සපයනවා. නමුත් වෛද්‍ය මුබාරක් මහතා ඊට අවස්ථාව දෙන්නේ නැහැ. මේක ආදර්ශයක් ලබාදෙනවා රටට බරපතල ඝනයේ අපරාධ කරපු අයට බේරෙන්න තියෙන හොඳම අවස්ථාව තමයි පුද්ගලික රෝහලකට ඇතුළත් වීම කියලා. අපි‍ට පේනවා මඟුල් ගෙදර යනවා එනවා වගේ රෝහලට එනවා. අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ විදිහට නීතිය ක්‍රියාත්මක වුණොත් රටේ බරපතළ ඝණයේ අපරාධ සිදු කළ පුද්ගලයින් ගිහින් පුද්ගලික රෝහල්වල නවතියි. ඔක්කොටම හෘදයාබාධ හැදෙයි. ඇප ගන්න හදන විට සියලු දෙනාටම ලෙඩ හොඳ වෙයි. රාජිත සේනාරත්න මහත්තයත් පපුව ඉස්සරහට දාගෙන ගියානේ ඇප ගන්න. එතකොට කිසිම අවුලක් තිබුණේ නැහැ.

    මේ අය දේශපාලන නිවටයෝ. අපි 2015 ජනවාරි 08 වෙනිදා පැරදුණා. 09 වෙනිදා උදේ ඉඳන් අපි යහපාලන ආණ්ඩුවෙන් බැට කෑවා. අපිව ජනාධිපති කොමිෂන් සභාවලට ගෙනාවා. අධිකරණයට ගෙන ගියා. හැබැයි අපි ඒවාට මුහුණ දුන්නා. අපි මාධ්‍ය හමු තිබ්බා. අපි කට වැහුවද. නැහැ. ඒ අපි වැරදි කරලා නැති නිසා. රාජිත සේනාරත්න වැරදි කරපු නිසා තමයි චූදිතයෙක් කරන්න කලින් අපේක්ෂිත ඇප ඉල්ලුවේ. බොහොම පැහැදිලිව අපි කියනවා මේ විදිහට නීතියෙන් වසන් වෙලා අනුන්ට‍ හිරේ යන්න සැලැස්වූ රාජිත සේනාරත්න වීරයෙක් වගේ වැරදි කරලා දැන් ඇඳට වෙලා ඉන්නවා. මේ වගේ නිවටයින් තමයි පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් දරලා තිබෙන්නේ.

    අපිට ඇහෙනවා මිනිස්සු අහනවා අර සෞඛ්‍ය ඇමතිට මුකුත් වෙන්නේ නැද්ද කියලා. ඒ තරම් ඔහුව ජනතාවට අප්පිරියයි. මේ දැන් ඔහුට තියෙන්නේ සිල්ලර දෙයක්. තව තොග වැඩ ගොඩක් තිබෙනවා මෙයාගේ. නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් පටන් ගත් විට අපේ කාලයේ ධීවර ඇමති ලෙස හිටපු අවධියේ කරපුවත් තියෙනවා රාජිත සේනාරත්නට විරුද්ධව. තව නම් ලැයිස්තුවක් තිබෙනවා මේ අයගේ. ඒවත් දේශපාලන දඩයම්ද කියලා බලන්න. තමන් කරපු වැරදිවලින් නිවැරදි වෙන්න බැහැ. අධිකරණය නොමඟ යවන්න කටයුතු කරන මේ වගේ මන්ත්‍රීවරු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ වගේ දේශපාලන අනාථයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.

    ඒ වගේම තමයි සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැන් පුදුම ඇ‍ඟේ අමාරුවක් තියෙන්නේ. එජාප ආණ්ඩුව ගෙදර ගිය දවසේ ඉඳන්. මොකද ඔවුන්ගේ හිතේ තිබුණේ වෙනම ඊළාම් රාජ්‍යයක් බිහිකරගන්න.උතුරු- නැගෙනහිර ඒකට එකතු කරගන්න තිබුණ හොඳම ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. ඒකට තමන්ගේ මන්ත්‍රීවරුන් 15දෙනාව යොදවලා තමයි කෑල්ල ඉල්ලන්නේ. ඒක පසුගිය අවුරුදු 4 ½ තුළම සිදු කළේ එයයි. ඉස්සර තිබුණේ උතුරට එක නීතියක් දකුණට එක නීතියක් නැගෙනහිරට තව නීතියක්. දැන් කොන්ද කෙලින් තියෙන ජනාදිපතිවරයෙක් ඉන්න නිසා මුළු රටටම තියෙන්නේ එක නීතියක්. ජාතිවාදයක් උඩගන්න හදන්නේ ඒ නිසයි. ඒකට ලේසිම ක්‍රමය තමයි ජාතික ගීය අපේ භාෂාවෙන් කියන්න ඕන කියලා. එල්.ටී.ටී.ඊ එක තිබුණ කාලේ මේ අය කොහේද හිටියේ ? සුමන්තිරන්ලා දැන් නැවත බලනවා ජාතිවාදි මානසිකත්වයක් ඇති කරන්න. බොහොම පැහැදිලිව අපි කියනවා කවුරු වුණත් කමක් නැහැ ත්‍රස්තවාදි ජාතිවාදි කැරැලි ඇති කරන අයට විරුද්ධව කටයුතු කරන්න කියලා. 19 වෙනි සංශෝධනයෙන් මේ රටට වෙලා තිබෙන නස්පැත්තිය ඉවත් කරනන් අපි රජයක් හැටියට කටයුතු කරනවා.” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News